| Share |
විදුලිබල අමාත්‍යංශයේ ලේකම් එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ඔහුට හිතවත් සමාගමට පැවරීම හේතුවෙන් දින 18ක් ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 1620ක පාඩුවක් සිදු වී තිබේ.
ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකු සඳහන් කළ පරිදි, නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා සමාගම් 04ක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව ඉන් සුදුසු සමාගමක් තෝරා ගැනීම සඳහා විදුලිබල අමාත්‍යාංශය විසින් තාක්‍ෂණ ඇගයීම් කමිටුවක් පත් කර තිබිණ.
එම තාක්‍ෂණ ඇගයීම් කමිටුව විසින් ගල් අඟුරු සැපයීම සඳහා සුදුසු සමාගම අතරින් නිර්දේශ කරනු ලැබ ඇත්තේ හොල්සිම් සමාගමයි. එහෙත්, ජනාධිපති කාර්යාලයෙන් ලැබුණ නියෝගයක් මත යැයි කියමින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි තාක්‍ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශ පසෙකලා ඇති අමාත්‍යාංශ ලේකම්වරයා, ගල් අඟුරු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ඉන්දුනීසියාවේ ‘නොබෙල්’ සමාගමට පවරා ඇත.
මෙම නොබෙල් සමාගම ගල් අඟුරු සැපයීම පිළිබඳ ප‍්‍රමාණවත් සුදුසුකම් නොමැති ආයතනයක් හෙයින් ඉන්දුනීසියානු රජය විසින් එම ආයතනයට ගල් අඟුරු ආනයනය කිරීමට අවශ්‍ය නිසි වරාය පහසුකම් ලබා දීම ප‍්‍රමාද කොට ඇත.
නොරොච්චෝලේ බලාගාරයේ මාස 03ක කටයුතු සඳහා ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් හාරලක්ෂ පහස්දාහක් අවශ්‍ය වී තිබූ නමුත් (450,000ක්) මෙම සමාගම විසින් මෙතෙක් ලබා දී ඇත්තේ මෙටි‍්‍රක් ටොන් දෙලක්‍ෂ පහන්දාහක් පමණකි. එම නිසා පසුගිය දින 18 තුළ ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝලේ බලාගාරය තාවකාලිකව වසා දමන ලදී.
ගල් අඟුරු මගින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 6/-ක මුදලක් වැය වන අතර, එම විදුලි ඒකකයක් ඞීසල් මගින් නිපදවීමට රුපියල් 21ක මුදලක් වැය වේ. මේ අනුව දිනකට ගිගා වොට් (Gwh) පැය 06ක් සඳහා විදුලිබල මණ්ඩලයට සිදුවන පාඩුව රුපියල් මිලියන 90ක් බවට ගණන් බලා ඇත. ඒ අනුව පසුගිය දින 18 සඳහා රුපියල් මිලියන 1620ක පාඩුවක් විදීමට විදුලිබල මණ්ඩලයට සිදු වී ඇත.
තවද ගල්අඟුරු ප‍්‍රවාහනය සඳහා නැව් සමාගම් ටොන් එකකට ඇ.ඩොලර් 20ක මුදලක් ලබා ගන්නා නමුත් මෙම නොබෙල් සමාගමට මෙම ඇණවුම භාරදීම නිසා ඒ සඳහා ටොන් එකකට ඇ.ඩොලර් 26.8ක් ගෙවීමට විදුලිබල මණ්ඩලයට සිදු වී තිබේ.
එසේම ගල්අඟුරු ගොඩබෑම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ‘භාඡ්’ යොදා ගන්නා නමුත් ඒ සඳහා මණ්ඩලයෙන් කුලියක් අය කර ගැනීමට ද මෙම නොබෙල් සමාගම කූට ආකාරයෙන් කටයුතු කර තිබේ.
මෙම නොබෙල් සමාගමට ගල් අඟුරු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව සැපයීමෙන් සිදු වී ඇති පාඩුව පිළිබඳව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පිරිසක් පසුගියදා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දැනුවත් කොට තිබේ. මෙයින් කලබලයට පත් අමාත්‍යංශ ලේකම්වරයා, ඔහුට හිතවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු කොළඹ සුපිරි හෝටලයකට වරින් වර කැඳවා විදුලිබල මණ්ඩලයේ අදාළ නිලධාරීන්ට එරෙහිව පහර දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියෙකු විසින් මෙම මාධ්‍යවේදීන් හමුව සංවිධානය කර ඇති අතර, එසේ පැමිණි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට රුපියල් ලක්‍ෂ 02 බැගින් ලබා දී ඇත. එහෙත්, දී අයිලන්ඞ් පුවත්පතේ මාධ්‍යවේදියෙකුට පමණක් අමාත්‍යාංශ ලේකම්වරයා රුපියල් ලක්‍ෂ 05ක මුදලක් ලබා දී ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












