Lanka News Web

ආර්යාවගේ ඥාතියා මිල්කෝ ඈවර කරයි!

Share

අකාර්යක්ෂම පරිපාලන හා අඩු පහසුකම් පිළිබද හේතු දක්වා මිල්කෝ ආයතනය පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙමින් පවතින බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මිල්කෝ ආයතනයේ නව කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන ජනාධිපති ආර්යාවගේ සමීපතම ඥාතියෙකු වන සුනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පෞද්ගලීකරණය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එකී ආරංචි මාර්ග සඳහන් කරයි.

කිරි ගොවියන්ගෙන් කිරි මිලදී ගෙන ඒවායින් වැඩි ප්‍රමාණයක් විනාශ කරන අතර එසේ විනාශ කළ ප්‍රමාණය කිරි ලීටර් ලක්ෂ 4 කි. දිවයිනේ කිරි ගොවීන්ගෙන් එකතු වන සමස්ථ කිරි ලීටර් ප්‍රමාණය ලක්ෂ 6 ක් වන අතර ඉන් මිල්කෝ සමාගම නිශ්පාදනය සඳහා යොදා ගන්නේ කිරි ලීටර් ලක්ෂ 2 කටත් වඩා අඩු ප්‍රමාණයකි.

මිල්කෝ සමාගමට අයත් ප්‍රාදේශීය කිරි එකතු කරන්නන් හට දැනුම් දී ඇත්තේ කිරි ගොවීන්ගෙන් කිරි සියල්ල මිලදී ගන්නා ලෙස ය. මේ වන විට කිරි ලීටරයක් මිලදී ගන්නා සහතික මිල රුපියල් 40 කි. ඒ සඳහා භාණ්ඩාගාරයෙන් දැවැන්ත මුදලක් වැයවන අතර කිරි විනාශ කිරීම නිසා එම මුදල් අපතේ යමින් තිබේ.

මිල්කෝ ආයතනයේ වෘත්තීය සමිති ප්‍රධානියෙකු සදහන් කර තිබුනේ නව කළමණාකාර අධ්‍යක්ෂක වරයා විසින් මිල්කෝ සමාගමේ පවතින අකාර්යක්ෂමභාවය හා නිශ්පාදන යන්ත්‍ර හිඟවීම හුවා දක්වා එය පෞද්ගලික ආයතනයක් වෙත ලබා දීමට පිඹුරු පත් සකස් කරමින් සිටින බව ය.

එහි පියවරක් වශයෙන් පවතින තත්වයට එරෙහිව ප්‍රශ්න කරන සේවකයන් සේවයෙන් පහ කිරීම හා ස්ථාන මාරු ලබා දීමට පියවර ගෙන තිබේ. පසුගිය කාලයේ එසේ ප්‍රශ්න කිරීම් කළ සේවකයන් 4 දෙනෙකු සේවයෙන් පහ කර ඇති අතර එක් අයෙකුට අනුරාධපුර ස්ථාන මාරුවක් ලබා දී ඇත.

Share

AddThis Social Bookmark Button