Lanka News Web

බර්ටිගේ සහායට මෛත්‍රී එයි

Share

රජරට දේශපාලන නායකත්වය සඳහා පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රිපාල සිරිසේන සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක අතර සීතල යුද්ධයක් පැවතිය ද ජේෂ්ඨත්වය සලකා බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට යළි මහ ඇමති ධූරය ලබා දිය යුතු යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) ජනාධිපතිවරයාට දැඩිව අවධාරණය කොට තිබේ.

පසුගිය පළාත් සභා මැතිවරණයේ මහ ඇමතිවරුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ(12) පැවති ශ්‍රීලනිප ජේෂ්ඨ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම අදහස සාකච්ඡාවට සහභාගී වූ සියළුම ජේෂ්ඨ නායකයින් ඒකමතිකව අනුමත කර ඇත. මේ අවස්ථාවේ දී මහ ඇමති ධූරයෙන් බර්ටි ප්‍රේමලාල් මහතා කපා දැමුව හොත් එය අනාගතයේ අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකි බව ඔවුන් සැමගේම අදහස වී තිබේ.

මේ අතර ඊයේ අරලියගහ මන්දිරයට පැමිණ සිටි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ජනාධිපතිවරයාගේ ජේෂ්ඨ නිලධාරියෙකුට පවසා ඇත්තේ බර්ටි ප්‍රේමලාල් දිසානායකට මහඇමති පදවිය ලබා දුන හොත් යළි කඹ දමා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උතුරු මැද පළාත තුළ කෙලින් කරලිය නොහැකි බවයි. මෙම ජයග්‍රහණය සන්ධානයට අත්කර ගත හැකි වූයේ තනිකරම ජනාධිපතිවරයාගේ කැපවීම මත බව චන්ද්‍රසේන අමාත්‍යවරයා එම නිලධාරියාට වැඩි දුරටත් සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ මාධ්‍ය උපදේශක වරයාගෙන් විමසා සිටි විට ඔහු කියා සිටියේ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට මහඇමති ධූරය ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවයි. පසුගිය මැතිවරණ සමයේ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට එරෙහිව පක්ෂයේ ඉහළ නායකයින්ගෙන් පවා දැඩි බාධා කිරීම් සිදු වූ බව  සදහන් කළ මාධ්‍ය උපදේශක වරයා චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ සොයුරු එස්.එම්. රංජිත් වැඩි මනාපයෙන් දිනවා ගැනීම සඳහා ආර්ථික සංවර්ධන  අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැප වී වැඩ කළ බව සඳහන් කලේය.

එස්.එම්. රංජිත් මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් 900 බැගින් වූ උදළු තල ලක්ෂ 2 ක් බෙදා දීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අමාත්‍යංශයට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර දුන් බවත් එහි වටිනාකම රුපියල් මිලියන 186 ක් බවත් සඳහන් කලේය.

Share

AddThis Social Bookmark Button