Lanka News Web

“මා දෙවනියා වුනේ ජනාධිපති නිසා’’ - බර්ටි පවසයි.

Share

ඊයේ (8) පැවති උතුරු මැද පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා සන්ධානයට ජයග්‍රහණය අත් වූයේ ජනාධිපති නිසා බව අද (9) උදෑසන මාධ්‍ය අමතා ප්‍රකාශ කළ හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා කැමරාවෙන් පිටුපස සිට ප්‍රකාශ කොට ඇත්තේ තමාට දෙවනියා වීමට සිදු වූයේ ජනාධිපතිවරයාගේ ක්‍රියා කළාපය නිසා බවයි.

නිල ප්‍රකාශයෙන් අනතුරුව ජන මාධ්‍යවේදීන් හා දීර්ඝ වශයෙන්  කරුණු දක්වා ඇති හිටපු මහ ඇමති වරයා ඡන්ද සටනේ ආරම්භයේ සිට තමා අත් විඳින්නට සිදුවූ කෙනෙහිලි කම් ගැන දැඩි වේදනාවකින් යුතුව කරුණු දක්වා ඇත.

තමාගේ වැඩිමහල් පුත්‍රයාගේ ජන්ම කේන්දරයේ පවතින රාජ යෝගයක් පිළිබඳව ජ්‍යෙතිශවරයෙකු මාධ්‍යයට කළ ප්‍රකාශයක් පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල වී ඇති ජනාධිපතිවරයා එතැන් පටන් තමන්ගෙන් සහ තම පුතාගෙන් පලිගැනීම සඳහා පෙළඹී ඇති ආකාරය අදියරෙන් අදියර  බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා විසින් මෙහිදී විස්තර කර දී ඇත.

උතුරු මැද පළාතේ තමන්ගේ  බලය හීන කරලීම සඳහා අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ලවා ඔහුගේ සහෝදරයා වන එස්.එම්. රංජිත් මහතා හට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත. දැනට කාලයක සිට තමාව මෙල්ල කිරීම සඳහා ජනාධිපතිවරයා අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා තමාට එරෙහිව උසි ගන්වමින් සිටින අතර දේශපාලනය කරනවා තබා කෑම මේසයක අසුන් ගෙන ආහාර ඉහිරවා නොගනිමින්, ඇ‍‍ඟ ගා නොගෙන, කෑමටවත් නොදන්නා අමාත්‍ය චන්ද්‍රසේන සහ ඔහුගේ පරපුරේ උදවිය අද මෙසේ ඉදිමී සිටින්නේ ජනාධිපතිවරයාගේ හයිය හිතට ගෙන බව හිටපු මහ ඇමතිවරයා සඳහන් කොට තිබේ.

තමාගේ මැතිවරණ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා ජනාධිපතිවරයා අවසානයේ මැතිවරණ කොමසාරිස් වරයාට ද බලපෑම් කොට තම මැතිවරණ කාර්යාල සීල් තැබූ අතර මැතිවරණ  නීතිය 100% ක් ක්‍රියාත්මක වූයේ තමාට පමණක් බව මහ ඇමති වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම දෙරණ රූපවාහිනී නාලිකාවේ දේශපාලන වැඩසටහනක් සඳහා සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතාට තමාට එරෙහිව පහර එල්ල කිරීම සඳහා විවිධ ලිපි  ලේඛණ සපයනු ලැබුයේ ජනාධිපති කාර්යාලය විසින් බව තමා ස්ථිර ලෙසම දන්නා බව බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මෙහිදී පවසා ඇත.

මේ පිළිබඳව අප හා අදහස් දැක් වූ ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ ඇමතිවරයෙකු පවසා සිටියේ, ජනාධිපතිවරයා යම් හෙයකින් බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා නොසලකා හරිමින් වෙනත් අයෙකු මහ ඇමති ධූරය සඳහා නම් කළ හොත්, එය රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය විය හැකි බවයි. නමුත් එවැනි තත්වයක් මග හරවා ගැනීමට ශ්‍රීලනිප ජේෂ්ඨයින් එකමුතුව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා තම පාර්ශවයට කන් දීමට අපොහොසත් වුව හොත් එය ඔහුගේ අවාසනාව විය හැකි බවයි.

Share

AddThis Social Bookmark Button