Lanka News Web

අධ්‍යාපනය වෙනුවෙන් වූ මේ අරගලයේදී යටත් වීමට සූදානම් නෑ - ආචාර්ය දේවසිරි

Share

පිළිගත හැකි එකඟතාවකින් තොරව කිසිදු හේතුවක්‌ මත සිය වැඩවර්ජනය අත් නොහරින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි  පැවැසීය.

රටේ සමස්‌ත අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන මෙම අරගලය පරාජයට පත් විය හැකි වුවත් කිසිසේත් යටත් වීමට සූදානම් නැතැයිද සභාපතිවරයා කීවේය.

කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ ඊයේ (7 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ ආචාර්ය දේවසිරි  ඉල්ලීම් දිනා නොගෙන ආපසු හැරීමට හැකියාවක්‌ නැතැයි ද පැවැසීය.

සිය ඉල්ලීම්වලට විසඳුම් නොදෙන්නේ තමන්ගේ අභිමානයට ගැටලුවක්‌ වේ යෑයි ආණ්‌ඩුව සිතන නිසා විය හැකි බව ද තමන්ගේ හිසට උඩින් මැස්‌සෙක්‌ ඉගිළෙනවාටත් අකැමැති පිරිස්‌ ආණ්‌ඩුවේ සිටින බව ද කී සභාපතිවරයා ආචාර්යවරුන්ට වැටුප් නොමැතිව දිගු කාලයක්‌ වර්ජනයේ යෙදිය නොහැකිය යන උපකල්පනයත් විසඳුම් ලබා නොදීමට හේතුවක්‌ විය හැකි යෑයිද සඳහන් කළේය.

වැඩවරන ආචාර්යවරු අරමුදලක්‌ පිහිටුවති

මේ අතර වැඩවර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ආර්ථික අපහසුතාවන්ට පිළියමක්‌ ලෙස ආචාර්ය සමිති සම්මේලනය 7 වැනිදා අරමුදලක්‌ පිහිටුවීය.

මෙම අරමුදල මගින් ආචාර්යවරුන්ට ණය පහසුකම් ලබා දීමට සම්මේලනය සැලසුම් කර ඇති අතර අරමුදලට දායක වීම සඳහා දැනටම සැලකිය යුතු පිරිසක්‌ කැමැත්ත පළ කර ඇතැයි එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්ය ටෙරන්ස්‌ මධුජිත් 'යුක්තිය' ට පැවැසීය.

වර්ජනය ආරම්භ කිරීමෙන් පසුව මාස දෙකකම වැටුප් ලබා ගැනීමට ආචාර්යවරුන්ට නොහැකි වූ නමුත් ඔවුන්ගේ ආර්ථික අපහසුතා මග හරවා ගැනීමට යම් යම් පියවර ගෙන ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. අරමුදල පිහිටුවීමෙන් පසුව එවැනි ගැටලු ඇති නොවන බවත් වර්ජනය අවසන් වීමෙන් පසුව අරමුදල යොදා ගනිමින් ආර්ථික අපහසුතා සහිත විශ්වවිද්‍යාල සිසුන්ට සහ පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර ඇති බවත් මධුජිත් මහතා ප්‍රකාශ කළේය.

-Yukthiya-

Share

AddThis Social Bookmark Button