Lanka News Web

දිසා විනිසුරු අරවින්ද පෙරේරා සහ ඔහුගේ සොහොයුරා හතර වටේටම පොලු තියලා

Share

කොළඹ අතිරේඛ දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතා බැංකු හා මූල්‍ය ආයතන ගණනාවකින්ම ණය හා ක්‍රෙඩිට් කාඩ් පත් ලබාගෙන ඒවාට නියමිත ණය වාරික නොගෙවා පැහැර හැරීම හේතුවෙන් ජාතික ණය තොරතුරු කාර්යංශයේ (CRIB) අසාදු ලේඛණයට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ.

ඔහු විසින් ලබා ගෙන ඇති ණය හා ණය පත් වෙනුවෙන් බැංකු වලට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 20 ක් පමණ බව පැවසේ. ලංකා බැංකුවේ පෞද්ගලික ණය ශාඛාවෙන් ඔහු ලබාගෙන ඇති රුපියල් මිලියන 5ක ණයක් සඳහා ණය වාරික දින දාහකට වැඩි කාලයක් නොගෙවා පැහැර හැරීම නිසා එම බැංකුවට ඔහු ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 9.6 කි.

ලංකා බැංකුවේ කුරුණෑගල ශාඛාවෙන් ලබා ගෙන ඇති රුපියල් මිලියනයක ණයක් සඳහා ආපසු ගෙවිය යුතු රුපියල් හය ලක්ෂ තිස් හය දාහක මුදලක් දින 645 ගත වී ඇති නමුත් ඔහු විසින් ගෙවා නොමැත. මහජන බැංකුවේ මධ්‍යම නගර ශාඛාවෙන් ලබා ගෙන ඇති රුපියල් මිලියන 2.1 ක ණයක් සඳහා රුපියල් මිලියන 1.9 ක් දින 632 ක් ගත වුවද ගෙවා නොමැත.

NDB බැංකුවේ හලාවත ශාඛාවෙන් ලබාගත් මිලියන 1.8 ක ණයක් වෙනුවෙන් මිලියන 1.3 ක් ද ගෙවා නොමැත. ලංකා බැංකුවෙන් ලබා ගත් තවත් මිලියන 3.5 ක් වෙනුවෙන් දින 800 ක කාලයක් වාරික ගෙවීම පැහැර හැරීම නිසා ඔහුට ගෙවන්නට ඇති මුලු මුදල රුපියල් 4.7 කි. ඊට අමතරව කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ හැත්තැ තුන් දහසක මුදලක් ද දින 270 ක් තිස්සේ ඔහු විසින් ගෙවා නැත. ඔහුගේ එම ක්‍රෙඩිට් කාඩ් පතේ ණය සීමාව ලක්ෂ 2 කි.

ණය ලබාගෙන නැවත ගෙවීම පැහැර හැරීම නිසා ඔහුට එරෙහිව නඩු පැවරීමට හෝ ණය කපා හැරීමට යන තීරණ දෙකෙන් එකක් ගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන කීපයක් මේ වන විට කටයුතු කරමින් සිටී.

මීට අමතරව ඔහුගේ සොහොයුරා වන කලක් රජයේ අධි නීතිඥයෙකු වශයෙන් සේවය කළ පින්සිත් පෙරේරා නැමැත්තා කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවේ නායකයෙකු වන ට්‍රයි ඇඩ් සමාගමේ ප්‍රධානී දිලිත් ජයවීර මහතාගෙන් මඩකලපුව පාසිකුඩා හි හෝටලයක් ඉදි කිරීම සඳහා ව්‍යාජ ඔප්පුවක් මගින් රුපියල් මිලියන 200 ක් ලබා ගෙන තිබේ.

මෙම සම්පූර්න ගණුදෙනුවේ නීතිඥයා සහ නොතාරිස්වරයා වශයෙන් කටයුතු කර ඇති පින්සිත් පෙරේරා අදාළ ඉඩම නැවතත් රජයට පවරා ගනු ලැබුව ද ප්‍රතිෂ්ඨාවට අදාළ මිලියන 200 මුදල  දිලිත් ජයවීරට නැවත ගෙවීම පැහැර හැර ඇත. ඒ සම්බන්ධයෙන් පින්සිත් පෙරේරා සමග දැඩි ලෙස උරණ වී සිටින දිලිත් ජයවීර තම දේශපාලන බලය පෙන්වමින් අදාළ මුදල නැවත ලබා ගැනීමේ දැඩි සටනක නිරත වී සිටින බව වාර්තා වේ.

දිසා විනිසුරු අරවින්ද පෙරේරා සහ හිටපු රජයේ අධි නීතිඥ පින්සිත් පෙරේරා යනු කළුතර නීතිඥවරුන්ගේ සංගමයේ හිටපු කීර්තිමත් නීතිඥවරයෙකු වන දිවංගත සිරි පෙරේරා මහතාගේ පුත්‍රයින් දෙපළයි. මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ කළුතර නීතිඥ සංගමයේ ජේෂ්ඨ නීතිඥවරයෙකු පවසා සිටියේ දිසා විනිසුරු අරවින්ද පෙරේරා විනිශ්චයකාර ධූරයේ කටයුතු පමණක් නොකොට අනවශ්‍ය බිස්නස් කිරීමට ගොස් මේ තත්වය උද්ගත වී ඇතත්, නමුත් තමා ඔහුට තවමත් ගරු කරන්නේ බැංකුවලට මොන පොලු තැබුවත් විනිශ්චයකාර ධූරය මුදල් ඉපයීමේ මාර්ගයක් කර නොගන්නා නිසා බවයි.

Share

AddThis Social Bookmark Button