Lanka News Web

නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න රජයේ ඉඩමක් විකුණා කෝටි පන්සීයක් අරන්!

Share

මීගමුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා විසින් රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් මීගමුවේ, කුඩාපාඩුවේ අක්කර 10 ක “උඩප්පුවත්ත’’ නැමැති ඉඩම වංචාසහගත ලෙස ජෙට්වින්ග් පෞද්ගලික සමාගමට විකුණා තිබේ.

මෙම අනර්ඝ ඉඩම විකුණා ඇත්තේ තරු පහේ හෝටලක් ඉදි කිරීම සඳහා ය. සරත් ගුණරත්න මහතා විසින් සිදු කරනු ලැබූ මෙම වංචාවට අදාල තොරතුරු හා ලිපි ගොණු බස්නාහිර පළාත් සභාවේ ධීවර, සංචාරක සහ මාර්ග අමාත්‍ය නිමල් ලාන්සා මහතා විසින් පසුගිය දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට භාර දී ඇත.

ඒ අනුව ඒ පිළිබඳව සොයා බැලූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයාටත් අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව වෙතත්, පොලිස්පතිවරයා වෙතත් දැනුම් දෙන්නැයි නිමල් ලාන්සා මහතාට උපදෙස් දී ඇත.

අප වෙත වාර්තා වෙන පරිදි තිසේරා නැමැති අයෙකුට අයත්ව තිබූ මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට හිමිව ඇත්තේ 70-77 සිරිමා බණ්ඩාරනායක රජය යටතේ ක්‍රියාත්මක කළ නිවාස සහ දේපළ උපරිමය පනත යටතේ ය. එකී පනත යටතේ තනි පුද්ගලයෙකුට තබා ගත හැකි උපරිම දේපළ ප්‍රමාණය අක්කර 50 කට සීමා විය. ඒ අනුව අක්කර 60 කින් සමන්විත වූ උඩප්පුවත්ත ඉඩමෙන් අක්කර 50 ක් ඉඩමේ අයිතිකරු තිසේරාට හිමිවී ඇති අතර ඉතිරි අක්කර 10 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වෙත පවරා ගෙන තිබිණ.

1977 වසරේදී සිරිමා බණ්ඩාරනායක රජය බලයෙන් පහ වීමෙන් පසු බලයට පත්වූ එජාප ආණ්ඩුව සිරිමා බණ්ඩාරනායක රජය විසින් එසේ පවරා ගත් ඉඩම් සඳහා වන්දි ගෙවූ අතර ඒ අනුව උඩප්පුවත්තේ තිසේරා නැමැත්තාගෙන් අත්පත් කර ගෙන තිබූ අක්කර 10කට ද වන්දි මුදල් ගෙවා තිබේ.

කෙසේ වුව ද සරත් ගුණරත්න නියෝජ්‍ය ඇමතිවරයා තම දේශපාලන  බලය යොදා ගනිමින් මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පෙර අයිතිකරුට නිදහස් කර දී අනතුරුව ඔහුගෙන් එම ඉඩම තම නමට පවරාගෙන ඇත. පසුව ඔහු මෙම ඉඩම ජෙට්විග් සමාගමට විකුණා ඇත්තේ රුපියල් කෝටි 500 කට ය. එම ඉඩම් වංචාවට අදාල සියළු ලිපි ලේඛන බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලාන්සා මහතා විසින් ඉදිරි දින කිහිපයේදී ජනාධිපතිවරයා වෙත ලබා දීමට නියමිතව ඇත.

නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා මීගමුව ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ධූරයෙන් ඉවත් කර එම සංවිධායක ධූරය නිමල් ලාන්සා මහතා වෙත ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලය පුරා ගත් උත්සාහය මේ දක්වා අසාර්ථක වී ඇත.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 සැප්තැම්බර් 04 වෙනි අඟහරුවාදා, 12:32