Lanka News Web

දිලිත් ගේ මාෆියාව ජයගනී! දිසා බණ්ඩාරත් පැන්නීමට සැරසේ!

Share

තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරයට තම කණ්ඩායමේ ජාවාරම්කාර සගයෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත් කර ගැනීමට සමත් වූ කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවේ ප්‍රධානියෙකු වන දිලිත් ජයවීර එම කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් දිසා බණ්ඩාර මහතා ද පැන්නීමට කුමන්ත්‍රණයක නියැලී සිටින බව කොටස් වෙළඳ පොළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ කොටස් වෙළඳ පොලේ අයථා ගණුදෙනු හා ඊට අදාල ජාවාරම්කරුවන් ගැන තොරතුරු හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතා වෙත ලබා දී ඇත්තේ දිසා බණ්ඩාර මහතා විසින් බවට කොළඹ කොටස් වෙළඳ පොඳ මාෆියාව සැක පහළ කරයි.

නීතිය අකුරටම ක්‍රියාත්මක කරන නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධ දිසා බණ්ඩාර මහතා මෙම කොමිසමට බඳවා ගෙන ඇත්තේ එහි හිටපු සභාපතිවරයෙකු වන ගාමිණී වික්‍රමසිංහ මහතා ය. දිසා බණ්ඩාර මහතා පන්නා දමා එම කොමිසමේ විමර්ශන අංශය භාර ධම්මික පෙරේරා මහතා පත් කර ගැනීමට දිලිත් ජයවීර, නිමල් පෙරේරා ඇතුළු මාෆියාව කටයුතු කරමින් සිටී.

කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවට එරෙහි විමර්ශන කටයුතු අතර මග නතර කර දැමීමට බොහෝ වාරයක් කටයුතු කර ඇති මෙම ධම්මික පෙරේරා නැමැත්තා මාෆියාවෙන් යැපෙන නිලධාරියෙකු වෙයි. මේ වන විට වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස කටයුතු කරන දිසා බණ්ඩාර මහතා එම තනතුරෙන් එළවා දැමීමට කොටස් වෙළද පොළ මාෆියාව නගා ඇති චෝදනාව වන්නේ ඔහු හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී උදව් කර ඇති බවයි. ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය ආසන්නයේදී අවසාන වරට පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට දිසා බණ්ඩාර මහතා සහභාගි වී ඇති බැව් දැක්වෙන ඡායාරූප සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටයක් මාෆියාව සතුව පවතී.

නමුත් මෙහි හාස්‍ය ජනකම කාරණය වන්නේ එසේ චෝදනා කරන දිලිත් ජයවීර හා නිමල් පෙරේරා ද පසුගිය ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාට රහසිගතව උදව් උපකාර කළ අය වීමයි.

කෙසේ වුව ද විනිමය හා සුරැකුම්පත් කොමසම් පනත යටතේ ස්ථිර අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු සිටිය යුතු වුව ද  මලික් කාදර් මහතා ඉවත් කිරීමෙන් පසු ඒ සදහා සුදුස්සෙකු පත් කර ගැනීමට ආණ්ඩුවට මෙතෙක් නොහැකි වී ඇත.  විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරයට කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවේ හිතවතෙකු වන නාලක ගොඩහේවා මහතා පත් කර ගැනීමට දිලිත් ජයවීර ඇතුළු එකී මාෆියා කල්ලිය කටයුතු කරමින් සිටින බව අප මීට දින කීපයකට පෙර වාර්තා කළෙමු. එකී වාර්තාව සනාථ කරමින් ඊයේ (28) නාලක ගොඩහේවා මහතාව එහි සභාපති ධූරයට පත් කර ඇත.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 29 වෙනි බදාදා, 09:49