Lanka News Web

තිලක් ගේ පුරප්පාඩුවට නාලක පත් කිරීමට මාෆියාව සැරසේ!

Share

තිලක් කරුණාරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති සුරැකුම් පත් හා විනිමය කොමිසම් සභාවේ සභාපති ධූරයට නාලක ගොඩහේවා මහතා පත් කර ගැනීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොලේ මාෆියාව බලවත් උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වේ.

නාලක ගොඩහේවා මහතා මේ වන විට බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. තිලක් කරුණාරත්න මහතා මෙන්ම නාලක ගොඩහේවා මහතා ද කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු නොවූ ගොඩහේවා මහතාව දේශපාලන ක්ෂේත්‍රයට හදුන්වා දෙනු ලැබුවේ කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසිනි. මොවුන් දෙදෙනාම ආනන්ද විද්‍යාලයේ 84 කණ්ඩායමේ ආදි සිසුන් ය.

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ අවස්ථාවේ එම ආයතනයේ උපදේශකයෙකු ලෙස ගොඩහේවා මහතා පත්කර ගනු ලැබීය. ඊට ඉහත දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂකව සිටි නාලක ගොඩහේවා මහතා කෝටිපති ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා විසින් එම ආයතනය මිලදී ගැනීමෙන් පසු ඉන්  ඉවත් කරනු ලැබීය.

රක්ෂණ සංස්ථාව යළි රජයට පවරා ගැනීමෙන් පසු නාලක ගොඩහේවා මහතා යළි එහි කළමණාකාර අධ්‍යක්ෂක ලෙස පත් කිරීමට ධම්මික පෙරේරා මහතා කටයුතු කලේය. කෙසේ වුව ද නාලක ගොඩහේවා මහතාව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දෙනු ලැබුවේ කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවේ ප්‍රධානියෙකු වන දිලිත් ජයවීර මහතාය.

අනතුරුව මොවුන් කොළඹ කොටස් වෙළඳ පොලේ අයතා ගණුදෙනු රාශියකට දායක වී ඇති අතර ලිබර්ටි ෆ්ලාසා ගොඩ නැගිල්ල හිමි “Colombo Land’’ සමාගම  මිලදී ගැනීමේ ජාවාරම ගොඩහේවා හා දිලිත් එක්ව සිදු කරනු ලැබීය. මොවුන් දෙදෙනාම එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වේ.

අනතුරුව දිලිත් ජයවීර මහතාගේ “දිවැස සමාගම’’ කොළඹ කොටස් වෙළඳ පොළේ සිදු කළ  බරපතල දූෂණ සඳහා නාලක ගොඩහේවා මහතා ද දායක වී තිබේ. එසේම ධම්මික පෙරේරා සහ කුප්‍රකට ජාවාරම්කාර නිමල් පෙරේරා ගේ කොළඹ කොටස් වෙළඳ පොළේ අයථා ගණුදෙනුවලට ද නාලක ගොඩහේවා සම්මාදම් වී ඇත. ආයෝජන මණ්ඩලයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ සමයේදීම ගොඩහේවා මහතා ධම්මික පෙරේරා මහතා සමග අයතා ගණුදෙනු රාශියක් සිදු කර තිබේ.

මෙම තත්වය යටතේ සුරැකුම් හා විනිමය කොමිසම් සභාවේ සභාපති ධූරයට ගොඩහේවා මහතා පත් කිරීමට ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පළ කර ඇති අතර ඔහු විසින් මේ වන විට එම තනතුරට යෝජනා කොට ඇත්තේ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වය.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාට ධම්මික පෙරේරා, දිලිත් ජයවීර මෙන්ම නාලක ගොඩහේවා ද රහසිගතව මූල්‍ය ආධාර සපයා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතුවල ප්‍රධාන වගකීමක් ඉසිලූ දිලිත් ජයවීර මහතා ඡන්දයට සති කිහිපයකට පෙර තම බිරිඳට අසනීප බව හඟවා විදේශ ගත වී ඇත්තේ ජෙනරාල්ගේ පාර්ශවය සමග ඇති කර ගත් එකඟතාවය මත බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

එසේ පසුගිය ජනාධිපතිවරණයේදී ජෙනරාල් ෆොන්සේකාට රහසිගතව මූල්‍යාධාර සැපයූ ප්‍රියන්ත හා රොෂාන්ත කාරියප්පෙරුම සහෝදරයින් දෙදෙනා එසේ කළ බවට සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සීසීටීවී කැමරාවලින් තහවුරු වූ පසු ආරක්ෂක ලේකම් ඔවුන් දෙදෙනා එළවා දැමුව ද ධම්මික පෙරේරා, දිලිත් ජයවීර හා නාලක ගොඩහේවා යන තිදෙනා ඒ වන විටත් රාජපක්ෂවරුන් සමග මුදල් විසුද්ධිකරණ ජාවාරම් ගණනක නියැලී සිටි බැවින් ඔවුන්ව එසේ එළවා දැමීමට නොහැකි වී ඇත.

තවද තමා ජෙනරාල් ෆොන්සේකා මහතාට එසේ ආධාර කලේ ඔහු තමාගේ සමීප ඥාතියෙකු හා එක ගමේ අයෙකු නිසා බව නාලක ගොඩහේවා මහතා ප්‍රසිද්ධියේ පිළිගන්නා අතර ධම්මික පෙරේරාගේ හා නිමල් පෙරේරාගේ මුදල් ජෙනරාල්වරයා වෙත රැගෙන ගියේ විපක්ෂයේ මුස්ලිම් දේශපාලඥයෙකු හරහා බව ප්‍රකට කරුණකි.

Share

AddThis Social Bookmark Button