Lanka News Web

ජනාධිපතිට අපහාස කළා යැයි කියා තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්

Share

රටේ රාජ්‍ය නායකයා හා විධායක බලැති ජනාධිපතිවරයා වුවත් තමන්ට එරෙහිව ද අසත්‍ය චෝදනා, විවේචන, අපහාස උපහාස එල්ල වන බවත් නමුත් ඊට ප්‍රතිචාර ලෙස කිසිදු නීතිමය පියවරක් නොගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පති වරයාට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පෙරේදා(24) මාධ්‍යයන් වෙත කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව මේ වන විට තහවුරු වෙමින් පවතී.

ජනාධිපතිවරයාට අපහාස කලේ යැයි චෝදනා කරමින් කළුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් සිටී.

මතුගම දී පැවති ජෙනරාල් සරත් ෆොන්සේකාගේ රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශයක් පිලිබඳව CID ය ඔහු කැඳවා අගෝස්තු 21 වන දින ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර එසේ එම රැස්වීම සංවිධානය කළ මතුගම ප්‍රාදේශීය සභාවේ ශාන්ත ප්‍රියංකර නැමැති මන්ත්‍රීවරයාගෙන් මෙන්ම ගුරු වෘත්තියේ යෙදෙන තවත් පුද්ගලයෙකුගෙන් ද CID ය ‍තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව කට උත්තර සඳහන් කරගෙන ඇත.

මීට අමතරව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නීතිඥ අනුර ප්‍රියලාල් මහතාට ද ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා CID ට පැමිණෙන ලෙස දන්වා ඇති අතර ඔහුට ඇති චෝදනාව වී ඇත්තේ ද සරත් ෆොන්සේකා මහතා සහභාගී වූ ගලේවෙල පැවති රැස්වීමකදී ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම ය.

පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගෙන් CID ප්‍රශ්න කිරීම සම්බන්ධව කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා පවසා ඇත්තේ, අදාල මන්ත්‍රීවරයා කරන ලද යම් ප්‍රකාශයක ද්වේශ සහගත කරුණු ඇති බවත් CID ය ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ මේ කාරණා සම්බන්ධයෙන් බවත් ය. තව දුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඇති බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් “බොරු අපහාස කළාට නඩු මගට යන්නේ නෑ. තමන් පරිණත දේශපාලඥයෙකු බව ට ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ යැයි’’ යනුවෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය පෙරේදා කළ ප්‍රකාශය පාලිත් තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට අදාල CID පරීක්ෂණ වලින් අසත්‍ය වන බව පැහැදිලි වේ. මෙම ප්‍රකාශය ජිනීවා හි දී ඉදිරියේ පැවැත්වෙන මානව හිමිකම් කමිටුවේ ප්‍රසාදය දිනා ගැනීම සඳහා කළ රඟපෑමක් බව මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු අප වෙත පැවසීය.

ජනාධිපතිගේ රාජකීය මහිමය කෙළෙසී යැයි කියමින් පසුගිය ජූනි 29 වන දා ශ්‍රි ලංකා මිරර් හා ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙඩ් අඩවි කාර්යාලයට CID ය කඩා වැදුනු අතර එහි මාධ්‍යවේදීන් 8 දෙනෙකු හා කාර්යාල කාර්ය සහායක කාන්තාවද අත් අඩංගුවට ගෙන රඳවා ගනු ලැබී ය. එකී චෝදනාව යටතේ මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

ජනාධිපතිවරයා  පෙරේදා ප්‍රකාශ කළ පරිදි ඔහුට අපහාස කළාට නඩු නොයන බව තහවුරු කරන්නේ නම් තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට අදාල CID පරීක්ෂණ මෙන්ම ශ්‍රී ලංකා මිරර් හා ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවි වලට එරෙහි නඩු ඉල්ලා අස් කර ගත යුතුව ඇතැයි මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු පැහැදිලි කළ මානව හිමිකම් ක්‍රියාකාරිකයා වැඩි දුරටත් පැවසීය.

Share

AddThis Social Bookmark Button