Lanka News Web

ආචාර්ය සටන අඩාල කරන්න බ්ලැක්මේල් සැලැස්මක්

Share

දැන් දෙමසක් පමණ තිස්සේ වැඩවර්ජනයක් දක්වා වර්ධනයවී පවතින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය අඩාල කිරීම සඳහා ආණ්ඩුව යොදාගන්නා සැලසුම් පිළිබඳව තවත් තොතුරු වාර්තාවේ. පසුගියදා උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතාගේ නිවසේදී ආචාර්ය සටන මොට කිරීම පිළිබඳ සැලසුම් සකස් කිරීමට එක්වූ ආචාර්යවරුන් එහි රැගෙනවිත් ඇත්තේ ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කරන ලද ආචාර්යවරයකු විසින් යැයි වාර්තාවේ. පසුගිය කාලයේ පුද්ගලයන් විදේශගත කිරීමට යැයි පවසමින් ඔවුන්ගෙන් මුදල් ගෙන වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් එම ආචාර්යවරයාට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී. එම නඩුව සමතයකට පත් කිරීම සඳහා ආචාර්ය අරගලය පාවා දීමට එකඟවන්නැයි ආණ්ඩුවේ ප්‍රබලයෙකු එම ආචාර්යවරයාට බලකොට ඇත. එම ඇමතිවරයා සතුව අදාල ආචාර්යවරයාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ රහසිගත තොරතුරු ප්‍රමාණයක්ද තිබූ බව වාර්තාවේ.

ඒ අනුව ආචාර්යවරුන්ගේ අරගලය මැඩපැවැත්වීම සඳහා සහයදීමට එම ආචාර්යවරයා එකඟවී ඇති අතර උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවට අනෙකුත් ආචාර්යවරුන් කිහිප දෙනෙකු රැගෙන යන ලද්දේ ඔහු විසිනි. එම ආචාර්යවරයාට ආණ්ඩුව විසින් පවරා ඇති කාර්යයවන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය අරගලය තුළ සිටින අතරම එය හුදෙකලා කිරීමට කටයුතු කිරීමයි. එහි පළමු පියවර ආචාර්යවරුන් සහ සිසුන් අතර ප්‍රතිවිරෝධයක් ගොඩනංවා ආචාර්යවරුන්ගේ සටනට එරෙහිව සිසුන් උපයෝගී කරගන්නා ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහය දීමයි. පසුගිය 23 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවැති රැස්වීමේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වේදිකාව නියෝජනය කරන්නේ නම් තමන් වේදිකාවට නොඑන බව පවසමින් මෙම ආචාර්යවරයා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ඉදිරි පෙළ නායකයන්ට තර්ජනය කර ඇත. ආචාර්යවරුන්ගේ රැලියේ ශිෂ්‍ය නියෝජනයක් නොමැතිවීම පිළිබඳව සිසුන් නොසන්සුන්තාවයට සහ කළකිරීමට පත්ව සිටි බව ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබිණි.

Share

AddThis Social Bookmark Button