| Share |
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සහකාරිය වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය කාරක සභාව (COPE) කමිටුව ඉදිරියට කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කළ සමයේ සිදු කරන ලදැයි කියන අයථා ගණුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇය කෝප් කමිටුව වෙත කැඳවන ලෙස ඉල්ලා සිටීමට තීරණය කර ඇති බව එජාප තරුණ මන්ත්‍රීවරයෙක් අප වෙත පැවසීය.
කොළඹ කොටස් වෙළඳ පොලේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් බරපතල වංචා දූෂණ සිදුවන බවටත් කොළඹ කොටස් වෙළඳ පොල නියාමනය කරනු ලැබූ හිටපු සභාපතිනි ඉන්ද්‍රානි සුගතදාස මහත්මියට එම තනතුරෙන් ඉල්ලා අස්වීමට එය හේතු වූ බවත්, පසුගිය දා තම තනතුරෙන් ඉල්ලා අස් වූ සුරැකුම් පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. ඉල්ලා අස්වීමෙන් පසු ඔහු විසින් කරනු ලැබූ ආන්දෝලානාත්මක කරුණු කාරනා සම්බන්ධයෙන් ඔහුව ද කෝප් කමිටුව වෙත කැඳවිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
තිලක් කරුණාරත්න මහතා ඉන්ද්‍රානි සුගතදාස මහත්මියට කොළඹ කොටස් වෙළඳ පොලේ මාෆියාවේ තර්ජන එල්ල වූ බව සඳහන් කළ ද අප වෙත කරුණු දැක් වූ එජාප මන්ත්‍රීවරයා කියා සිටියේ ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය සභාපතිව සිටි සමයේ කොළඹ කොටස් වෙළඳ පොල මාෆියාවේ සමහර පුද්ගලයන්ට ආධාර අනුබල දුන් බවත් ඇය තම තනතුරේ වරප්‍රසාද යොදා ගනිමින් තම සහකරු වන ලලිත් වීරතුංග මහතාගේ දියණියට හා බෑණාට විශේෂ අනුග්‍රහයක් දක්වා ඇති බවත් ය.
ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය එවකට විනිමය හා සුරැකුම් පත් කොමිසමේ සභාපතිකමට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපති ධූරය ද දැරීය.
කොළඹ කොටස් වෙළඳ පොල නියාමනය කිරීමේ වගකීම විනිමය හා සුරැකුම් පත් කොමිසමට පැවරී ඇති පරිදිම පාර්ලිමේන්තු පනත් යටතේ රක්ෂණ සමාගම් නියාමනය කිරීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයට ය.
එම වකවානුවේ ලලිත් වීරතුංග මහතාගේ දියණිය වන වින්ධ්‍යා වීරතුංග මහත්මිය මෙන්ම ඇගේ සැමියා වන අජිත් පෙරේරා සේවය කොට ඇත්තේ “AVIVA-NDB Insurance’’ සමාගමේ ය. ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයට පත්වීමත් සමග AVIVA-NDB Insurance සමාගමේ පාලකයින් අජිත් පෙරේරා මහතාව එම සමාගමේ අලෙවි අංශයේ ප්‍රධානියා ලෙස (Head of Marketing) ලෙස උසස් කර ඇත. ඒ අනුව අජිත් පෙරේරා මහතා හරහා AVIVA-NDB Insurance සමාගම ශ්‍රි ලංකා රක්ෂණ මණ්ඩලයේ විශේෂ වරප්‍රසාද ලබා ගෙන තිබේ.
මේ වකවානුවේ සේවක භාරකාර අරමුදල (ETF) විසින් ලාෆ් සමාගමේ කොටස් ඉතා ඉහළ මිළ ගණන් යටතේ මිලදී ගැනීම නිසා මහත් ආන්දෝලනයක් ඇති විය. එකල කොළඹ කොටස් වෙළඳ පොලේ රුපියල් 10 ක වටිනාකමින් යුතු ලාෆ් සමාගමේ කොටසක් ETF විසින් මිලදී ගනු ලැබුවේ රුපියල් 40 ක මිලක් යටතේ ය. මෙම දූෂිත ගණුදෙනුව මෑත කාලයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ ගණුදෙනුවට වඩා අතිශය බර පතල හා දූෂිත එකක් බව එජාප මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.
කෙසේ වුව ද කොළඹ කොටස් වෙළඳ පොලේ සිදු වූ එම දූෂිත ගණුදෙනුවට අඳාල පරීක්ෂණ යට ගැසීම සඳහා ලාෆ් ගෑස් සමාගමේ ප්‍රධානී වෑගපිටිය මහතා ජනාධිපති ලේකම්වරයාගේ දියණිය වන වින්ධ්‍යා වීරතුංග මහත්මිය තමාගේ සමාගමේ කොටස් කාරියක් කර ගෙන ඇත. ඒ අනුව ලාෆ් සමාගමට අනුබද්ධව “Laughf Australia Higher Education Service (Pvt) Ltd නමින් සමාගමක් සංස්ථාපනය කොට එහි අධ්‍යක්ෂකවරියක හා ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වින්ධ්‍යා වීරතුංග පත් කොට තිබේ.
එම පත් වීමෙන් පසු ETF විසින් ලාෆ් සමාගමේ කොටස් මිලදී ගැනීමේ කූඨ ගණුදෙනුව යටපත් කිරීමට ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය කටයුතු කොට ඇත.
මෙලෙස ම කොළඹ කොටස් වෙළඳ පොලේ මාෆියා නායකයන් වන දීලිත් ජයවීර, නිමල් පෙරේරා, වරුණි අමුණුගම සහ ඇගේ සැමියා කොළඹ කොටස් වෙළඳ පොලේ සිදු කලේ යැයි කියන අයථා ගණුදෙනු රාශියකට අදාල පරීක්ෂණ යටපත් කිරීමට ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය කටයුතු කර තිබේ.
කොළඹ කොටස් වෙළඳ පොල මාෆියාවේ බලපෑම් මත ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවට රාවයක් පැතිරුණ ද ඇය සිටිය දී කොටස් වෙළඳ පොළ මාෆියාවේ පුද්ගලයින් සමග සමීපව කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ වංචා දූෂණ වලට ආධාර කර ඇති බවත් ඥාතීන්ට විශේෂ අනුග්‍රහ දක්වා ඇති බවත් මේ වන විට එළිදරව් වී ඇති බැවින් ඇයව කෝප් කමිටුව වෙත ගෙන්වා කරුණු විමසිය යුතු බව අප වෙත කරුණු හෙළි කළ එජාප තරුණ මන්ත්‍රීවරයා අවසන් වශයෙන් පැවසීය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












