Lanka News Web

සරසවි සිසුන් දහසකට මහාචාර්යවරු එකයි – උතුරේ වැසියන් පහකට හමුදා භටයින් එකයි

Share

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය පදනම්ව ඇත්තේ වැටුප් වැඩිකරගැනීමේ ඉල්ලීම මත බව සැබෑය.නමුත් එයින් ඔබ්බට යන සමාජීය ඉල්ලීම් ගණනාවක්ද ඔවුන් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට ඇත. ඒ අතර ප‍්‍රධාන වන්නේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව විශ්ව විද්‍යාලවල ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවත්, අධ්‍යාපනය සඳහා ආණ්ඩුවෙන් වෙන් කරන මුදල වැඩි කළයුතු බවත් සඳහන් ඉල්ලීම්ය. මෙම ඉල්ලීම් ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන් හා එකඟවන ඉල්ලීම් වන අතර අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම හා ප‍්‍රවර්ධනය කිරීම සඳහා ඒවා අත්‍යවශ්‍ය වේ.

ජන සමාජයේ විවිධ පරදු පාර්ශ්වයනට බලපාන ප‍්‍රශ්න සම්බන්ධව කලින් කලට ජන මාධ්‍ය ඔස්සේ තම මත ප‍්‍රකාශ කිරීම සහ තමන්ගේ අයිතිවාසිකම් කෙරෙහි බලපාන කාරණාවලදී වැඩවර්ජනයද ඇතුළු වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමද පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වන අතර එම ඉල්ලීම් කෙරෙහි අවධානය දක්වා මහජනයා අතර සාකච්ඡාවට සවන් දීම ජන සහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණයකි.

නමුත් ආණ්ඩුව කල්පනා කරන්නේ නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතා නියෝජිතයන් ලෙස නොව මහජනයාගේ ආශාව හෙවත් මහජනතාවගේ අපේක්ෂාවන් හොඳින්ම දන්නා විපරීත පියෙකු වශයෙන් නිසා ජනතාවට සවන්දීම යනුවෙන් මාතෘකාවක් ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයේ නැත.
මේ අඩුව පිරවීමට ගත් එක්තරා උත්සාහයක් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකයා වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මහජන බදු මුදලින් ක‍්‍රියාත්මක වන රාජ්‍ය ආයතනයක් වන විපක්ෂ නායක කාර්යාලය ඔස්සේ අධ්‍යාපනයේ අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලා අංක 1 වෙත පසුගිය අගෝස්තු 6 වනදා කැඳවන ලද රැස්වීම සැළකිය හැකිය. විපක්ෂ නායකවරයාට අමතරව එම රැස්වීමේ මුලසුන එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් සමාජවාදී පක්ෂය යන පක්ෂවල නායකයන් විසින්ද හොබවන ලද අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් මෙන්ම ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ද, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විද්වත් පිරිස්ද, ‘නිදහසේ වේදිකාව’ ඇතුළු සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන්ද ඒ සඳහා ආරාධනා ලැබ පැමිණ සිටියහ.

මෙම සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිත දිලීප විතාරණ ප‍්‍රකාශ කළේ ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 1000කට අධ්‍යාපනය ලබාදීම සඳහා සිටින්නේ එක මහාචාර්යවරයෙකු බවයි. එක් වෛද්‍යවරයෙකුට සිටින රෝගීන් සංඛ්‍යාව රටක සෞඛ්‍ය තත්ත්වය පිළිබද දර්ශකයක් වන්නා සේම එක් මහාචාර්යවරයෙකුට සිටින සරසවි ශිෂ්‍යයන් සංඛ්‍යාව යනු උසස් අධ්‍යාපනය මනින දර්ශකයකි. එහිදී ඔහු පෙන්වා දුන් එක්තරා වැදගත් කරුණක් වූයේ 2005න් පසු, එනම් මහින්ද චින්තනය ක‍්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසු දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද මුදල අඩුවී ඇති බවය. මෙම රැස්වීමේදීම අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් ප‍්‍රකාශ කළේ උතුරු පලාතේ වැසියන් පස් දෙනෙකුට එක් හමුදා භටයෙකු බැගින් සිටින බවයි.

රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා 2012 අය වැයෙන් වෙන්කොට ඇති මුදලින් සියයට හතරක් අඩු කළොත් අධ්‍යාපනයේ පුනරාවර්තන වියදම් සඳහා වැයකරන මුදල් ප‍්‍රමාණය දෙගුණ කළ හැකි බව මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය 2012 අගෝස්තු මස නිකුත් කළ ලේඛනයක දැක්වේ.

අධ්‍යාපනයේ අර්බුදය පිළිබඳ මහජන සාකච්ඡාවක් ඇතිකිරීමේදී ඉදිරියට ගත යුතු ප‍්‍රධාන සංසන්දනය මෙයයි. ‘සරසවි ශිෂ්‍යයන් 100කට එක මහාචාර්යවරයයි – උතුරේ වැසියන් 5 දෙනෙකුට එක හමුදා භටයයි.’

අධ්‍යාපනය සදහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් වෙන් කරන ලෙස හෙවත් අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදම් වැඩිකිරීම ආරක්ෂක වියදම් අඩු කිරීම සමග අත්‍යන්තයෙන්ම බැඳී පවතී. වෙනත් වචනයකින් කිව්වොත් එක් මහාචාර්යවරයෙකුට උගැන්වීමට සිටින සරසවි ශිෂ්‍ය සංඛ්‍යාව අඩුකිරීම එක් හමුදා භටයෙකුට සිටින උතුරේ වැසියන් සංඛ්‍යාව වැඩි කිරීම හා බැඳී පවතී.

නමුත් අධ්‍යාපනය පිළිබඳ කෙරෙන සාකච්ඡුා වලදී මේ සම්බන්ධය මතු කිරීම අරුම පුදුම සහගත ලෙස හැලී යයි. එයට හේතුව අධ්‍යාපන අයිතිවාසිකම වෙනුවෙන් සටන් කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයන් ඇතුළු අරගලකරුවන් සහ ඔවුන්ගේ දේශපාලන අනුග‍්‍රාහකයන් සිංහල ජාතිවාදීන් විසින් ඔවුන්ට ලබාදෙන සහාය නැති වී දකුණේ ජනයා අතර සුජාතභාවය අහිමි වේ යැයි අවිඥානිකව කල්පනා කරන නිසා විය යුතුය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විහාර මහා දේවි රංග පීඨයේදී පවත්වන ලද සිසු ජන ආචාර්ය රැළියේදී දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න සහෝදරයාට කතා කිරීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ එබැවිණි.

නමුත් ආරක්ෂක වියදම් අඩු කරන්නේ නැතිව අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට හෝ වෙනත් මහජන සේවාවන් සඳහා වන වියදම් වැඩි කිරීම කළ නොහැකිය.

ආරක්ෂක වියදම අඩු කරන්නේ කෙසේද? ඒ සම්බන්ධව ආණ්ඩුව විසින්ම පත් කළ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්තාවේ සඳහන් වේ. ඒ අතරින් එක් ක‍්‍රියා මාර්ගයක් වනුයේ උතුරේ හමුදාකරණය අවම කිරීම හෙවත් සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි හමුදාවේ බලපෑම අඩු කිරීමය. එසේ කිරීමෙන් ඇතිවන රික්තය පිරවිය හැක්කේ සිවිල් පරිපාලනය නැවත ස්ථාපිත කිරීමෙනි.

සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීම යනු එක් පැත්තකින් උතුරු පලාතේ පරිපාලන කටයුතු හමුදා නිලධාරීන් අතින් දැනටමත් ආණ්ඩුවේ වැටුප් සහ යටිතල පහසුකම් සපයමින් පවත්වා ගෙන යන ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් අතට මාරු කිරීමයි. නමුත් එම සිවිල් පරිපාලනය අර්ථවත්වීමට සහ උතුරේ ජනතාව අතර පිළිගැනීමක් සහ සුජාතභාවයක් ඇති කරගත හැක්කේ එම ප‍්‍රදේශයේ ජනතාවගේ නියෝජිතයන් පාලනයට හවුල් කර ගැනීමෙනි. ඒ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රකාරව පැවරී ඇති පොලිස් බලතල ඇතුළු සියළු බලතල පලාත් සභාවලට ලබාදී උතුරු පලාත් සභා ඡුන්දය පවත්වා පලාත් පරිපාලනය ස්ථාපිත කළ යුතුය.

පලාත තුළ සිවිල් පරිපාලනය මෙන්ම පලාත් සභාවේ දේශපාලන නායකත්වයටද තම බලතල ස්වාධීනව භාවිතා කළ හැක්කේ නැවතත් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කොට අධිකරණය, පොලීසිය සහ රාජ්‍ය සේවය ස්වාධීන කළ යුතුය. මේ සියල්ලම ආණ්ඩුවේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ මගින් ඉදිරිපත් කොට තිබේ.

අධ්‍යාපනය පිළිබඳව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව කිසිදු උත්සාහයක් නොගන්නා තත්ත්වයක් තුළ විකල්පය වන්නේ විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළත්ව මහජන ව්‍යාපාරයක් ගොඩනගා මේ ප‍්‍රශ්නය ජනතාව අතර සංවාදයකට ලක් කිරීමයි. එම සංවාදය අවංක එකක් වන්නේ මේ සත්‍යය ජනතාව වෙත නිර්භීතව ඉදිරිපත් කිරීමෙනි. ප‍්‍රගතිශීලී සහ වාමාංශික බලවේගවල වගකීම විය යුත්තේ එයයි. එබැවින් අද සටන් පාඨය සැකසිය යුත්තේ මෙසේය.

‘ආරක්ෂක වියදම් කපා හැර – අධ්‍යාපනයට වියදම වැඩි කරනු!’
‘උතුරේ හමුදා භටයින් අඩු කර සරසවි ආචාර්ය සංඛ්‍යාව වැඩි කරනු!’

Share

AddThis Social Bookmark Button