Lanka News Web

මා ජනාධිපති හමු වුනෙත් නෑ. කෝටි 10 ක් ගත්තෙත් නෑ. - දයාසිරි

Share

කතෘ තුමා,

ලංකා නිව්ස් වෙබ්,

ඔබ ලංකා නිව්ස් වෙබ් අඩවියේ පසුගිය කාලය පුරාම  මා ආණ්ඩුවට එක්වන බවටත්, කෝටි 10 ක මුදලක් රැගෙන ආණ්ඩුවට එක් වන බවටත්, එම මුදල් තැන්පත් කිරීමට බැංකොක් බලා ගිය බවටත් දිගින් දිගටම මා පිළිබඳව විවිධ බොරු ප්‍රචාර කරන ලදී.

විවිධ වෙබ් අඩවිවල මා පිළිබඳව හෝ වෙනත් අය පිළිබඳව තිබෙන කරුණු එතරම් බැරූරුම් ලෙස සැලකිය නොයුතු වන්නේ මෙම වෙබ් අඩවි වල පල කරනු ලබන පුවත් වල තිබෙන්නා වූ අසත්‍ය කරුණු පිළිබඳව දිගින් දිගටම පිළිතුරු යවන්නට අප හට සිදුවන බැවිනි.

ඔබ වෙබ් අඩවියේ මා ආණ්ඩුවට එකතුවන බවටත් ජනාධිපතිවරයා හමු වී ඇති බවටත් කරනු ලැබූ ප්‍රකාශය අසත්‍යය. එසේම කෝටි 10 ක් රැගෙන ආණ්ඩුවට එකතු වන බවට කරන ලද ප්‍රකාශයය ද අසත්‍යය. එසේම මොලයක් තිබෙන කෙනෙකුට ලංකාවේ ගුවන් තොටුපලින් කෝටි 10 කුත් රැගෙන බැංකොක් බලා පිටත් වීමට හැකි වන්නේ කුමන ආකාරයකින් ද යන්න නොතේරෙනවා නොවේ. එබැවින් එවැනි අභූත චෝදනා ඉදිරිපත් කරමින් ක්‍රියා කරන්නේ කාගේ උවමනාවට ද යන්න ප්‍රහේලිකාවකි. 2012.08.21 වන දින ඔබ වෙබ් අඩවියේ පල කර ඇති කාරණය ද පුදුම උපදවන සුළුය. එහි මා පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා විසින් ගයන්ත කරුණාතිලක මහතා වෙත සවිස්තර වාර්තාවක් ලබා දී ඇති බව සඳහන් කර ඇත. ගයන්ත කරුණාතිලක මන්ත්‍රිවරයාට දුරකතන ඇමතුමක් ලබා දුන් ජනාධිපතිවරයා  කරන ලද ප්‍රකාශය දන්නේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා සහ ජනාධිපතිවරයා පමනි. එය ඔබේ වෙබ් අඩවියට ලැබෙන්නට ජනාධිපතිවරයා ඔබේ වෙබ් අඩවියට කතා කර පැවසිය යුතුයි. නැතිනම් ගයන්ත කරුණාතිලක මහතා වෙබ් අඩවියට එලෙස ප්‍රකාශ කළ යුතු ය. නමුත් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වෙබ් අඩවි වලට තොරතුරු දෙන පුද්ගලයෙකු ලෙස මා විශ්වාස නොකරමි.

එසේම කිසිදු දිනක මාගේ හඳහන ඔබ විසින් කියනු ලබන සුමනදාස අබේගුණවර්ධන වෙත ඉදිරිපත් කර නැතුවාක් මෙන් ම මා ඔහු කිසි දිනක හමු වී නොමැත. මාගේ කේන්දරය ද ඔහුට යවා නොමැත. එසේම කේන්දර දෙස බලමින් දේශපාලන තීන්දු ගැනීමට තරම් මා මෝඩයෙකු නොවන අතර කේන්දර දෙස බලා වේලාවල් බලා මා දේශපාලන තීන්දු නොගනිමි. එබැවින් ඩෙංගු වැළදීමේ සිට පසුගිය සතිය වන තෙක් මා දැඩි ලෙස රෝගාතුර වීමෙන් මා හට දේශපාලන කටයුතුවලින් යම්තාක් දුරට ඈත්වී සිටීමට සිදුවීම පාවිච්චි කරමින් දේශපාලන වශයෙන් මා විනාශ කිරීමට ප්‍රයත්න දරන අප පක්ෂයේම පුද්ගලයින් කිහිප දෙනෙකු සහ ආණ්ඩු විරෝධී නායකයෙකු ලෙස මාගේ දේශපාලන ගමන අඩපන කිරීමට ආණ්ඩුවේ දේශපාලඥයන් කිහිප දෙනෙකු දරන කූට උපක්‍රමයයේ කොටස් කරුවෙකු ලෙස දැනුවත් ව හෝ නොදැනුවත්ව ඔබගේ වෙබ් අඩවිය ද සම්බන්ධ වී ඇති අතර ඔබට තොරතුරු සපයන පුද්ගලයන් විසින් එම කොන්ත්‍රාත්තුවක් මනා ලෙස ඉටු කරමින් තිබේ.

2012.08.12 අනුරාධපුරයෙන් ආරම්භ කළ පළාත් සභා මැතිවරණ ප්‍රචාරක රැස්වීම් මාලාවෙන් පසුව ලංකාව තුළ ක්‍රියාත්මක වන ජනමාධ්‍ය මා ආණ්ඩුවට එකතු වන බව කළ කතිකාවන් අවසන් කර ගත් අතර තවදුරටත් එම ක්‍රියාවලියේ ඔබ වෙබ් අඩවිය යෙදෙන්නේ කිසියම් කෙනෙකුගේ කූට කුමන්ත්‍රණයක හවුල්කරුවන් ලෙස ද යන්න මා හට සැකයක් පවතී.

ග්‍රාමීය මට්ටමින් බිහි වී කටුක අත්දැකීම් සහ තමාගේ අප්‍රතිහත ධෛර්යෙන් ලංකාවේ දේශපාලන නායකයින් ලෙස ඉස්මතු වන දේශපාලන නායකයින් විනාශ කිරීමේ කොළඹ elite කණ්ඩායම් වල දැඩි ප්‍රහාරයට පසුගිය කාලයේම මේ රටේ දේශපාලන නායකයින් දෙදෙනෙකු වූ ආර්. ප්‍රේමදාස මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ලක්විය. එම කුමන්ත්‍රණ හමුවේ රටේ ඉහළ ම ස්ථානයට යන්නට තරම් ඔවුන්ට කැපවීම සහ ආත්ම ධෛර්ය සහ ආත්ම විශ්වාසය තිබුණි. පඬුවස්නුවර වැනි ග්‍රාමීය ප්‍රදේශයකින් ආරම්භ කළ මාගේ දේශපාලන ජීවිතය මා ඉතා අසීරුවෙන් ගොඩනඟා ගත්තකි. විවිධ කැපිලි කෙටිලි කෙනෙහිලිකම් මැඩ ගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව මාගේ දේශපාලන ගමන් මග මේ තාක් දුරට ගෙන ඒමට මා හට හැකිවිය. මා ආ ගමන් මගේ මා ඉදිරියට තල්ලු කරන්නට මාගේ පියා හෝ මව ජනාධිපති, අගමැති, අමාත්‍ය හෝ මන්ත්‍රීවරු නොවන අතර ඉතා අසීරුවෙන් සහ බාධක කම්කටොළු මැද ආරම්භ කළ මගේ දේශපාලන ජීවිතය කුමාන්ත්‍රණකාරී ලෙස, ඉතා නින්දිත ලෙස විනාශ කිරීමේ ක්‍රියාදාමය ලංකාවේ නීතිමය බල සීමාව නියෝජනය නොකරන විදේශ රටවල් වල සිට රටේ ජනතාව මුලා කරන වෙබ් අඩවි කිහිපයකට ඉඩ දිය නොහැක. මාගේ ඉතිහාසය පුරා මුදලට වහල් වී දේශපාලනය නොකළ, මුදලට මිලදී ගත නොහැකි ලෙස දේශපාලනය කළ දේශපාලඥයෙකු ලෙස, ඔබ විසින් කළ චෝදනා මට කළ අපහාසාත්මක චෝදනා ලෙස මා සලකන අතර ඒවාට එරෙහිව නඩු පවරන්නට ඔබගේ වෙබ් අඩවියේ ලිපිනයක් හෝ සොයාගත නොහැකි තැනකට වසන් වෙමින් ඔබගේ වෙබ් අඩවිය ක්‍රියාකරනු ලබයි. එබැවින් මාගේ දේශපාලන ජීවිතයට ඕනෑම චෝදනාවක් දේශපාලන වශයෙන් කරන්නට ඕනෑම කෙනෙකුට නිදහස තිබේ. නමුත් දේශපාලනය මුවාවෙන් මා ඉතා අසීරුවෙන් ගොඩනගා ගත් මගේ පෞද්ගලික ජීවිතය හා කීර්ති නාමය විනාශ කරන්නට කිසිවෙකු හට ඉඩ තබන්නට මම නො කැමැත්තෙමි. එබැවින් ඔබ වෙබ් අඩවියේ පල වූ සියලු කාරණා මා ප්‍රතික්ෂේප කරන අතර කිසියම් පුවතක් පල කිරීමට පෙර මා හට දුරකථන ඇමතුමක් දී ඒ පිළිබඳව විමසීමට තරම් ජනමාධ්‍ය භාවිතයක් ඔබ වෙබ් අඩවියට ඇතැයි මා විශ්වාස කරමි. එබැවින් කරුණාකර මෙම සටහන ඔබගේ වෙබ් අඩවියේ ප්‍රචාරය කොට පිළිතුරු දීමේ අයිතිය පිලිගන්නා වූ වෙබ් අඩවියක් ලෙස ඔබගේ වෙබ් අඩවියේ ගෞරවය ආරක්ෂා කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි.

දයාසිරි ජයසේකර

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

සංස්කාරක සටහන

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මීට පෙර ඔහු පිළිබඳව පල වූ ප්‍රවෘත්තීන් පිළිබඳව අපගේ ප්‍රධාන විධායක අමතමින් කළ දුරකතන පැහැදිලි කිරීමක සංක්ෂිප්ත සටහනක් ඔහුට අගතියක් නොවන ආකාරයට පල කිරීමට අප කෘතඥ වූයෙමු. අපගේ කෘතඥභාවය දුර්වලකමක් ලෙස දයාසිරි මන්ත්‍රීවරයාට හැඟී යන බවක් ඔහුගේ පිළිතුරෙන් ගම්‍යමාන වේ.

රාජපක්ෂ රෙජීමයේ කටු කන සුනඛයන් නිතර දෙවේලේ අඬා පාලි කියන්නා සේ දයාසිරි මන්ත්‍රීවරයා ද කියා සිටින්නේ අප විදේශයන් හි සැඟව වෙබ් අඩවි ක්‍රියාත්මක කරන බවයි. අප විදේශයන්හි සිට වෙබ් අඩවි ක්‍රියාත්මක කළත් සැඟවී නොසිටින බව ඔහු මෙන්ම ඕනෑම විපක්ෂ දේශපාලඥයන් දන්නා කරුණකි. විපක්ෂ නායකවරයාගේ සිට මෙකී නොකී විපක්ෂ දේශපාලඥයින් අපගේ වෙබ් අඩවියේ නියෝජිතයන් හා වාර්තාකරුවන් විදේශයන් හිදී හමුවී තිබේ.

අපගේ ලිපිනයන් ප්‍රසිද්ධ කිරීමට නොහැකි කාරණා පිළිබඳව දයාසිරි ජයසේකර වැනි නොමේරූ දේශපාලඥයින් හැරෙන්නට පරිණත දේශපාලඥයින්ට කිසිදු ගැටළුවක් නැත. අපගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීමට හැකි වට පිටාවක් නිර්මාණය වූ සැණින් අප එම තොරතුරු ප්‍රසිද්ධ කරන්නෙමු. එහෙත් අපගේ පුවතකින් යම් පාර්ශවයකට අගතියක් වී නම් එය නිවැරදි කර ගැනීම සඳහා අපගේ විද්‍යුත් ලිපිනය පසුගිය කාලය පුරා සෑම පාර්ශවයකටම විවෘත වූවකි.

දයාසිරි මන්ත්‍රීවරයා පිළිබඳව  අප විසින් පල කළ ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම නිවැරදි ඒවා බව අපි යලි යලිත් තහවුරු කරන්නෙමු. අප හට පිළිතුරු ලිවීමට ප්‍රථම ප්‍රවෘත්තියේ සඳහන් පාර්ශවයන් අමතා එහි සත්‍ය අසත්‍ය තාවය පිළිබඳව විමසා සිටියේ නම් එය සැමදෙනාගේම හිතසුව පිණිස වනු ඇත.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 25 වෙනි සෙනසුරාදා, 18:02