| Share |
හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා යළි එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමක් පවතින බව එජාප මූලස්ථානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවතෙකුව සිටි බෝගොල්ලාගම මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරාධනාවක් මත සන්ධාන ආණ්ඩුවට එක් වුවද ඔහු රනිල් වික්‍රමසිංහ මහතා සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප ප්‍රභලයෙකුව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට එක් වීමත් මේ වන විට එම දිස්ත්‍රික්කය නියෝජනය කරන දයාසිරි ජයසේකර හා අශෝක අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එජාප නායකයාට එරෙහිව කැරලි ගැසීමත් නිසා කලකට පෙර එජාපයේ බල කොටුවක්ව පැවති කුරුණෑගල දිස්ත්‍රික්කය මේ වන විට එජාපයෙන් ගිලිහී යමින් පවතී.
මේ තත්වය යටතේ පාරම්පරික එජාප පරපුරකින් පැවත එන බෝගොල්ලාගම මහතා නැවත එජාපයට එක්කර ගැනීම ඔහුට එම දිස්ත්‍රික්කයේ නායකත්වය ලබා දීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ නායකයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද කැමැත්ත පළ කොට ඇත. මේ අනුව ශ්‍රීලනිප කෝට්ටේ සංවිධායකවරයා වන බෝගොල්ලාගම මහතා එම ආසනයේ කටයුතු පසෙක ලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමාජ සේවා කටයුතුවල නියැලී සිටී.
පසුගිය දා ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ජාතික මට්ටමේ උත්සවයක් සංවිධානය කොට තිබුනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කලකට පෙර ඔහු නියෝජනය කළ නිකවැරටිය ආසනයේය.
බෝගොල්ලාගම මහතා නොසලකා හරිමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ ආසනයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ජනාධිපතිවරයා තමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කොට විදේශ අමාත්‍ය ධූරය ලබා නො දීමත් නිසා බෝගොල්ලාගම මහතා පසුගිය කාලයේ බලවත් කණස්සල්ලට පත්ව සිටි බව ඔහුගේ හිතවතෙකු අප කළ විමසීමකදී පැවසීය.
එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුධ මෙහෙයුම් පැවැති සමයේ ඊට එරෙහිව ජාත්‍යන්තර විරෝධයක් මතු නොවන ආකාරයට විදේශ ඇමතිවරයා වශයෙන් ඔහු කළ වැඩ කොටස ජනාධිපතිවරයා විසින් නිසි ඇගයීමකට ලක් නොකිරීම බෝගොල්ලාගම මහතාගේ කණසල්ලට හේතු වී ඇතැයි එකී පුද්ගලයා වැඩි දුරටත් අප හා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සොයා බැලීමේ දී හෙලිදරව් වූයේ ජනාධිපතිවරයා විසින් බෝගොල්ලාගම මහතාව කොන් කර ඇත්තේ බෝගොල්ලාගම මහතාගේ බිරිඳ වන දීප්ති බෝගොල්ලාගම මහත්මිය ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයාව විවේචනය කරමින් සිටින නිසාය. බෝගොල්ලාගම මහතාගේ බිරිඳ වන දීප්ති බෝගොල්ලාගම මහත්මිය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා නීති විද්‍යාලයේ සමකාලීනයන් වන අතර එකල පුරුද්දට දීප්ති බෝගොල්ලාගම මහත්මිය ප්‍රසිද්ධ සභාවල දී පවා ජනාධිපතිවරයාට “මහින්ද’’ කියා ඇමතීම මෙම කොන් කිරීම සඳහා ආසන්නතම හේතුව බවයි.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











