Lanka News Web

ලොර්ගාට්ගේ ශ්‍රී ලංකා පත්වීම දූෂණයක් නොවේ - අයිසීසී ය

Share

අයිසීසී යේ හිටපු විධායක නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙසින් පත් කිරීමේ දී කිසිදු දූෂණයක් හෝ බැඳියාවන් අතර ගැටීමක් හෝ සිදුවී නැතැයි අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

අයිසීසී යේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචර්ඩ්සන් ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් ලක්ෂ පහක ආධාර මුදලක් ප්‍රදානය කිරීමෙන් සති කිහිපයකට අනතුරුව එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී හරූන් ලොර්ගාට් ඩොලර් ලක්ෂයක වේතනයකට ශ්‍රී ලංකා ක්‍රිකට් හි උපදේශකයෙකු වශයෙන් සේවය කිරීමට එකඟ වීම පිළිබඳව කරුණු විමසූ අවස්ථාවේ දී.

"සියලුම ආධාර මුදල්, ණය මුදල් ඇතුළු අපේ සාමාජික රටවල් සමඟ කෙරෙන සියලුම මූල්‍ය හුවමාරු සම්බන්ධයෙන් තීරණ ගන්නේ අපේ මූල්‍ය සහ වාණිජ කටයුතු කමිටුව. මේ මොහොතේ ඒ කමිටුවේ සභාපති පදවිය දරන්නේ අයිසීසී යේ සභාපති ඇලන් අයිසැක්. අවසාන තීරණය සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරියා ට තියෙන්නේ සීමිත බලයක්. ඒ නිසා ඒ වගේ නිගමණයකට ඒම විකාරයක්," බවයි, ඩේවිඩ් රිචර්ඩ්සන් පවසන්නේ.

'බැඳියාවන් අතර ගැටීමක්'

ලබන සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ප්‍රවේශ පත්‍ර ආදායමෙන් අයකර ගන්නා තෙක් අත්තිකාරමක් වශයෙන් ඩොලර් ලක්ෂ දහයක මුදලක් ද, ලෝක කුසලානය සංවිධානය කිරීමේ දී අවශ්‍ය ආම්පන්න මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් ලක්ෂ පහක ආධාරයක් ද, 2015 ලෝක කුසලාන තරඟාවලියට සූදානම් වීම සඳහා ඩොලර් ලක්ෂ දහයක ණය මුදලක් ද වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් ලක්ෂ විසි පහක මුදලක් ලබා දී ඇති බවයි, අයිසීසී යේ මාධ්‍ය සහ සන්නිවේදන අංශ ප්‍රධානී කොලින් ගිබ්සන් බීබීසී සංදේශය කළ විමසීමක දී සඳහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පවසන්නේ එම සිදුවීම් දෙක අතර සහ සම්බන්ධයක් තිබෙන බවට සැක කිරීමට හේතු සාධක තිබෙන බවයි.

"මෙතෙන්දි හැමදෙනාටම සැකයක් එනවා, අපිට ආරංචියි ලොර්ගාර්ට් මහත්තයට ඩොලර් ලක්ෂයක මුදලක් ගෙවනව කියල. ඉතින් ඩොලර් ලක්ෂ පහක් අපිට හම්බවෙන කොට ඩොලර් ලක්ෂයක මුදලක් එතුමාට ලබාදෙනවා වැනි දෙයක් තමයි මෙතන සිද්දවෙනව කියල අපිට පෙන්නේ," බවයි, අර්ජුන රණතුංග බීබීසී සංදේශය සමඟ කියා සිටියේ.

මෙය බැඳියාවන් අතර ගැටීමකටත් (conflict of interest) වඩා බරපතල තත්ත්වයක් බව රණතුංග මන්ත්‍රීවරයා ගේ මතයයි.

"ලොර්ගාට් මහත්තය එතන ඉන්නකොට එවැනි දෙයක් වුනා නම්, එතුමා රස්සාවෙන් අයින් වුනාට පස්සේ එතුමා අපි උපදේශකයෙක් හැටියට ගන්නවා නම් එකට මම හිතන්නේ conflict of interest වලට වඩා යටින් ගෙවීමක් එතුමාට සිද්ද කරනවා වගේ ක්‍රියාදාමයක් අද සිද්දවෙනවා කියලයි මට හිතෙන්නේ," ඔහු වැඩිදුටත් පැවසීය.

ලොර්ගාට් වාර්තාව

එහෙත් අයිසීසී යේ ප්‍රධාන විධායක නිලධාරියා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

"මම එකට එකඟ වෙන්නේ නෑ. කොයි විදියට බැලුවත් හරූන් ලොර්ගාට් මහත්තයා ට කොන්ත්‍රාත්තුවක් දීමේ වැඩ පිළිවෙල ආවේ ඒ තීන්දුව (මූල්‍ය ආධාර ලබාදීමේ ) අරගෙන බොහෝ කාලයකට පසුවයි. ලොර්ගාර්ට් මහත්තයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපකාර කිරීම ගැන ඒ අවස්ථාවේ කිසිම සඳහනක් තිබුනේ නෑ. ඒ නිසා ඒක ගැන තවදුරටත් කතා කිරීම සම්පූර්ණයෙන් ම වැරදියි කියලයි මම හිතන්නේ," යන්න ඒ චෝදනාව සම්බන්ධයෙන් ඩේවිඩ් රිචර්ඩ්සන් පළ කරන ප්‍රතිචාරයයි.

ඩේලි මිරර් පුවත්පත සමඟ පැවති සාකච්ඡාවක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස පවසා තිබුනේ හරූන් ලොර්ගාට් විසින් සකස් කිරීමට යෝජිත වාර්තාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී නැති බවයි.

එසේනම් ලොර්ගාට් ගෙන් වාර්තාවක් කැඳවීමේ අවශ්‍යතාවය කවරේ දැයි අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මේ පිළිබඳව කරුණු විමසීම සඳහා සභාපතිවරයා ඇමතූ අවස්ථාවේ තමන් දුරකතනයෙන් සම්මුඛ සාකච්ඡා ලබා නොදෙන බවයි, ඔහු කියා සිටියේ.

බරපතල දූෂණයක් - හිටපු ක්‍රිකට් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග

"මෙතෙන්දි හැමදෙනාටම සැකයක් එනවා, අපිට ආරංචියි ලොර්ගාර්ට් මහත්තයට ඩොලර් ලක්ෂයක මුදලක් ගෙවනව කියල. ඉතින් ඩොලර් ලක්ෂ පහක් අපිට හම්බවෙන කොට ඩොලර් ලක්ෂයක මුදලක් එතුමාට ලබාදෙනවා වැනි දෙයක් තමයි මෙතන සිද්දවෙනව කියල අපිට පෙන්නේ"

-BBC සංදේශය-

 

Share

AddThis Social Bookmark Button