Lanka News Web

ජවිපෙ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්

Share

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ගැටුම් දේශපාලන රඟපෑමක් විය හැකි බවට සැක පහළ කර ඇති ආරක්ෂක බුද්ධි අංශ, මෙය එම පක්‍ෂය යළි රහසිගත දේශපාලනයට අවතීර්ණ වීමට දරන උත්සාහයක් විය හැකි යැයි ජනාධිපතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත් දැනුම් දී තිබේ.

මැතිවරණ පරාජයන් හමුවේ දැඩි ලෙස කළකිරීමට පත්ව සිටින ජවිපෙ නායකයින් යළි රහසිගත දේශපාලනයකට යාමට කටයුතු කරමින් සිටින බවටත් එම පක්‍ෂය මේ වන විට උතුරේ සටන්කාමී තරුණ පිරිස් සමඟ සමීප සබඳතාවයක් ගොඩගනිමින් සිටින බවටත් එකි බුද්ධි අංශ වාර්තා මගින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

මෙම තත්ත්වය යටතේ වහාම බුද්ධි අංශ යළි සීරුවෙන් තබන ලෙසත්, ජවිපෙ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සියලූම පොලිස් ස්ථාන දැනුවත් කරන ලෙසත් ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට හා ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ට දැනුම් දී ඇත.

කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය යොදා ගනිමින් රාජපක්‍ෂ පාලනය මර්දන අණපනත් ගෙන ඒමටත් ඒ හරහා දකුණේ සෙසු විපක්‍ෂ ක‍්‍රියාකාරිකයින් මර්දනය කිරීමටත්, කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකු අප වෙත පැවසීය.

ආරක්ෂක බුද්ධි අංශ කෙසේ වාර්තා කළද මේ වන විට අප වෙත ලැබූ ඇති තොරතුරුවලට අනුව ජවිපෙ මතවාදී ගැටුම හේතුවෙන් පැහැදිලි ලෙසම දෙකඩ වී තිබේ. අප මීට පෙර වාර්තා කළ පරිදිම ජනවාර්ගික අර්බුදය හා විප්ලවයේ මාදිලිය සම්බන්ධයෙන් වූ මතවාදීමය ගැටුම මෙම පිල් බෙදීමට මූලික හේතුව වී ඇත.

ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් පක්‍ෂය වඩාත් සංවේදී විය යුතු බව අවධාරණය කරන පේ‍්‍රමකුමාර ගුණරත්නම් මහතා ඇතුළු අභ්‍යන්තර කාඩර්වරුන්, එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මව මිය ගිය අවස්ථාවේ එම අවමඟුල් උත්සවයට ජවිපෙ නියෝජිතයින් සහභාගී විය යුතු බවට කළ යෝජනාවත් සමග වාර්ගික අර්බුදය සම්බන්ධ මතවාද තීරණාත්මක ලෙස කරලියට පැමිණ තිබේ.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දීමටත්, 2010 දී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දීමටත් සභාග ආණ්ඩුවලට එකතු වීමටත් ජවිපෙ විසින් ගනු ලැබූ තීරණ බරපතළ දේශපාලන අත්වැරදීම් බව ‘‘කුමාර මහතාගේ කණ්ඩායමේ ස්ථාවරය වී ඇති අතර, මින් ඉදිරියට සන්ධාන දේශපාලනයෙන් ඉවත් වී මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයේ පිහිටා කටයුතු කළ බවට ඔවුන් යෝජනා කර තිබේ.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ප‍්‍රසිද්ධ තලයේ කටයුතු කරන ජවිපෙ ක‍්‍රියාකාරිකයෙකු සඳහන් කළේ, කඩිනම් විප්ලවයක් කිරීමට පක්ෂයේ කිහිප දෙනෙකුට හදිසි වී තිබෙන බවත්, පවතින තත්ත්වය තුළ එවැන්නකට කිසිදු ඉඩක් නොමැති හෙයින් පක්‍ෂයේ බහුතරයක් එම යෝජනා ප‍්‍රතික්ෂේප කර ඇති බවත්ය.

පක්ෂයේ නිල අයිතිය ටිල්වින් සිල්වා මහතා නියෝජනය කරන කණ්ඩායමට හිමි වන බැවින් තම දේශපාලන අරමුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා රෝහණ විජේවීර මහතා ගිය මඟ යමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තම කණ්ඩායම කටයුතු කරන බව ‘‘කුමාර මහතාගේ කණ්ඩායමේ’’ ක‍්‍රියාකාරිකයෙකු අප වෙත පැවසීය.

Share

AddThis Social Bookmark Button