Lanka News Web

ජාතික මට්ටමේ ආන්දෝලනාත්මක ක්‍රියාවලියකට අප යා යුතුයි! - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

Share

2012.08.16 වැනි දින කොළඹ නව නගර ශාලාවේ පැවැති “අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරයේ’’ ප්‍රථම මහ සමුළුවේදී  අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා.

අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරයේ මංගල මහ සමුළුවේ දී රටේ පැතිරී තිබෙන අවනීතිය ගැන සියලු පාර්ශවයන් දීර්ඝ වශයෙන් අදහස් පළ කළා. මේ අවනීතිය අප සියල්ලන්ටම බලපා තිබෙන අතර ඒ අවනීතිය ක්‍රියාත්මක වන සෑම අංශයක් ගැනම මේ ස්ථානයේ දී දීර්ඝ වශයෙන් කතා කිරීමට මම බලාපොරොත්තු වන්නේ නැහැ.

නිවසට යන පාර කොන්ක්‍රීට් කිරීමේ වගකීම බාර ගන්නා එකා ඒ ව්‍යාපෘතියෙන් සල්ලි හම්බ කරනවා. ළමා අපචාර නිසා අපේ දරු දැරියන්ට එළියට යන්න හැකියාවක් නැහැ. එමෙන්ම කාන්තාවන්ට ආරක්ෂාවක් සහ රැකවරණයක් ඇත්තේ නැහැ. ආර්ථික අවනීතිය නිසා බඩු මිල විශාල වශයෙන් වැඩි වී ජනතාව අන්ත අසරණ වී සිටිනවා මේ අතර විභාග දෙපාර්තමේන්තුව කඩා වට්ටා, අධ්‍යාපනය විනාශ කිරීමේ අවනීතිය නිසා විභාගවලින් අපේ දරු දැරියන්ට අනාගතයක් ඇත්තේ නැහැ.  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක අවනීතිය නිසා ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා.

ගොවි ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන නිසා අවනීතිය හේතුවෙන් ගොවි ජනතාවගේ ගොවි විශ්‍රාම වැටුප එම ජනතාවට අහිමි වී ගොස් තිබෙනවා. අර්ථ සාධක අරමුදලේ ක්‍රියාත්මක වන අවනීතිය හේතුවෙන් සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදල අහිමි වී තිබෙනවා.

මේ අනුව පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තිබෙන තුරු රටේ අවනීතිය රජ කරවන බවයි. එසේ නම් මේ අවනීතිය අවසන් කිරීමට නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පන්නා දැමිය යුතුයි.

ඒ අනුව අප කළ යුතුව තිබෙන්නේ අවනීතිය නැති කිරීම සඳහා  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පන්නා දැමීමට ක්‍රියා කිරීම වන අතර ඒ සඳහා කාලය දැන් එළඹ තිබෙනවා. ආණ්ඩුවට එරෙහිව ලොකු මිනිස්සු කතා නොකළත් රට පුරා පොඩි මිනිස්සු කතා කරනවා. එසේ නම් ආණ්ඩුවට එරෙහිව කතා කරන ඒ පොඩි මිනිසුන්ට අප නායකත්වය දිය යුතුයි.

විවිධ දේශපාලන මත දරණ අයද, විවිධ ජාතිකයින් ද, පිරිමි සහ කාන්තා පක්ෂ ද ඇතුළු සමාජයේ සියලු පාර්ශවයන් මේ වේදිකාවේ සිටිනවා. මේ සියලු පාර්ශවයන් මේ වේදිකාවේ එකට සිටින්නේ මේ ආණ්ඩුව පන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කිරීමේ පොදු අරමුණ මතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද මේ වැඩසටහනට සහාය දක්වන අය සිටින අතර ඒ අය ඉවත් කරන්නැයි අප කියන්නේ නැහැ. ඒ අය ද මේ මර්දනයට හසු වී සිටින අතර ඇත්ත වශයෙන්ම ප්‍රථමයෙන්ම මර්දනයට ලක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයයි. මේ රටේ මර්දනකාරී ක්‍රියාවලිය ආරම්භ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මර්දනය කිරීමෙන් අනතුරුවයි.

මේ ගමන ඉදිරියට යන්න අප සියල්ලන් එකට එක්වී ජනතාව ගම් මට්ටමෙන් සංවිධානය කිරීමේ වැඩ කටයුතු ඇප කැප වී කළ යුතුයි. මාධ්‍යයට යම් දුරක් යා හැකි වන නමුත් ඊට වඩා යා නොහැකි නිසා අප සහනය අප පමණයි.

මේ ගමන යන්න කවුරුන් හෝ  නො එන්නේ නම් ඔහු පසෙක තබා මේ ගමන යා යුතු අතර ඒ ගැන නැවත කතා කළ යුතු වන්නේ නැහැ. නීතිඥ සංගමය හැර කිසිඳු වෘත්තීයවේදීන්ගේ සංගමයක් කිසිවක් කතා කරන්නේවත් නැහැ. සමහර වෘත්තීය සමිති ගොලු වෙලා. ඒ වෘත්තීය සමිති වෘත්තීය අයිතිවාසිකම් දන්නවා.. නමුත් කතා කරන්න බැහැ...

අප වහාම ජනතාව සංවිධානය කළ යුතු වන්නේ අපේ ඉල්ලීම් රටත්- ජනතාවත් වෙනුවෙන් සටන් කර ආණ්ඩුව නොවැම්බර් මාසයේ දී ලබා නො දුන්නොත් ඊට එරෙහිව මහ පාරට බැස සටන් කිරීම සඳහායි.

අධ්‍යාපන කේෂ්ත්‍ර යේ අර්බුද ඇති කරමින් තරුණ තරුණියන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම නැති කර තිබෙන අතර විභාග ක්‍රමයේ සෑම දාම ප්‍රශ්න මතු වෙනවා. නමුත් ආණ්ඩුව මේ කිසිඳු ප්‍රශ්නයක් ගැන ක්‍රියා කරන්නේ නැහැ. ස්වාසිලන්තයේ රජතුමාගේ ගැහැණු 16 දෙනා වගේ ප්‍රශ්න පත්‍රත් මේ වන විට   13 ක් පිටව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කතා කලා කියා හෝ ජනමාධ්‍යට කියා සිටියා කියා හෝ මේ වැඩකටයුතු කිරීමේ හැකියාවක් නැහැ. සාම්ප්‍රධායික සමාජයක නම් පාර්ලිමේන්තුවේ හඩ නැගීම සහ ජනමාධ්‍යට කතා කිරීම කළ හැකියි. පාර්ලිමේන්තුවේ හඩ නැගුවා කියා මේ ක්‍රමයේ වෙනසක් සිදු වී නොමැති නිසා අපි සියල්ලන් එකට එක් වී ජනතාව සංවිධානය කිරීම වහා කළ යුතුයි.

මේ අවුරුද්දේ නොවැම්බර් මාසය වන විට සියලු සේවක වැටුප් වැඩි කර සහන ලබා දෙන්නැයි ද, ඒ වන විට අපේ අර්ථ සාධක අරමුදල ආරක්ෂා කර තැබිය යුතු යැයි ද ආණ්ඩුවට අප අනතුරු අගවා තිබෙනවා. ආණ්ඩුව ඒ ඉල්ලීම ඉටු නොකළහොත් ඉට එරෙහිව වහාම ඍජු දේශපාලන ව්‍යාපාරයකට ජාතික මට්ටමේ ආන්දෝලානාත්මක ක්‍රියාවලියකට අප යා යුතුව තිබෙනවා.

Share

AddThis Social Bookmark Button