Lanka News Web

‘අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරයේ’ සමාරම්භක උළෙලේදී - ගරු මංගල සමරවීර මහතා -

Share

අවනීතිය නමැති මහා රාක්‍ෂයා විසින් අප මුළු රටම ගිල ගනිමින් සිටින මොහොතක ‘අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ’ සමාරම්භක සමුළුව වෙනුවෙන් ඔබ සියලූ දෙනාම පිළිගැනීමට මට අවස්ථාවක් ලැබීම විශේෂ භාග්‍යයක් හැටියට මම සලකනවා.

නීතියේ ආධිපත්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයේ අත්‍යාවශ්‍යම අත්තිවාරමක් හැටියට අද බොහෝ දෙනා පිළිගන්නවා. නීතියේ ආධිපත්‍ය නැති තැන අවනීතිය රජ වන බවත්, අවනීතිය රජවෙන තැන ‘චෞරරාජවාදය’ මතු වන බවත්, 17 වැනි ශත වර්ෂයේදී ජෝන් ලොක් ඉංගී‍්‍රසි දේශපාලන පඬිවරයා කියපු දේ අද 21 වැනි සියවසේ ශී‍්‍ර ලංකාව තුළ අප ඇස් ඉදිරිපිටම යථාර්ථයක් බවට පත්වෙමින් තියෙනවා.

ආසියාවේ පැරණිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රට හැටියට සැලකෙන අපේ රට තුළ නීතියේ ආධිපත්‍ය අද සීමා වෙලා තියෙන්නේ අපේ ජනාධිපතිතුමාගේ කථාවලට පමණයි. හැමතැනම මැරකම, හොරකම, ජඩකම රජකරන තත්ත්වයක් උදාවී තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඔටුනු පළඳන්නේ නීතියට මිස පුද්ගලයන්ට නොවිය යුතුය. නීතියට ඉහළින් කිසිම රජෙක් නොසිටිය යුතුය. නමුත් අද ලංකාවේ රජකම ගැන සිහින දකින සුළු පිරිසක් නීතියේ ඔටුන්න මංකොල්ලකන්න උත්සාහ කරනවා.

පසුගිය පස් අවුරුද්දට විතරක් ළමා අපචාර 15,158 ක් සහ ස්තී‍්‍ර දූෂණ 6,342 ක් සිදු වූබවට ආණ්ඩුවේම වාර්තාවල සඳහන් වෙනවා. ඒ අනුව, දළ වශයෙන් ගණන් බැලූවම අප රටේ ළමා අපචාර 08 ක්, ස්තී‍්‍ර දූෂණ 05 ක් දිනපතා සිදුවෙනවා. ඊට අමතරව, පසුගිය අවුරුදු 07 ට මිනීමැරුම්, පැහැරගෙනයෑම්, අතුරුදහන්වීම් 15,780 ක් සිදුවෙලා තියෙනවා. මීට අමතරව, උතුරේ ජීවත් වන අහිංසක දෙමළ ජනතාවගේ ගණන් හිලව් මෙහි නොකියන බව අප මතක තබා ගන්න අවශ්‍යයි.

අද ස්තී‍්‍ර දූෂිකයන්ට ජනාධිපති සමාව දෙනවා. එහෙම නැතිනම් ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදේශකකම් දෙනවා. ඊට පස්සේ ජනාධිපති උපදේශකව, ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදේශක මහ දහවල් මහ පාරේ ඝාතනය කරනවා. ඉන් පසුව රටේ ආරක්‍ෂක ලේකම්වරයා ගොස් එම ඝාතකයාට ආරක්‍ෂාවද සපයනවා.

ආණ්ඩුවේ ඇමැතිවරු සිරිපාදෙ නායක හාමුදුරුවෝ තෝරන ඡුන්දයට ඡුන්දෙ දාන්න ආපු ස්වාමීන් වහන්සේලා තර්ජනය කරලා පන්නල දමනවා. ඇමතිවරු රජයේ සේවකයන් අල්ලලා ගස් බඳිනවා. තවත් ඇමතිවරු උසාවියේ විනිශ්යකාරයන්ට තර්ජනය කරනවා. අමාත්‍යංශ ලේකම්වරු පුවත්පත් කර්තෘවරුන්ට කුණුහරුපයෙන් බැණ වදිමින් තර්ජනය කරනවා.

තමන්ගේ ජීවිත කාලය පුරා ඉතිරි කර ගත්ත අර්ථ සාධකය උදුර ගන්න හදනකොට ඒකට එරෙහිව පෙළපාලි ගියා කියලා ගහලා, වෙඩි තියලා මරලා දානවා. සාධාරණ ව්‍යාපාරයක් විරුද්ධ පැත්තේ ඉදන් කළොත් ඒවා ඔක්කොම ආණ්ඩුවට ගන්නවා කියලා ව්‍යාපාර පවරා ගැනීමේ පනත් ගේනවා.

ඒ පමණක් නෙවෙයි, අවනීතිය නමැති රකුසා අද අධ්‍යාපන ක්ෂේත‍්‍රයටත් ඇතුල් වෙලා ඉවරයි. උසස් පෙළ සමත් වෙලා අද විශ්ව විද්‍යාලවල ඉන්න  ඕන තරුණ තරුණියන්උසාවි ගානෙ රස්තියාදු වෙනවා. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු අද පාරවල් පාරවල් ගානේ තමන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් වදිනවා.

අවනීතියේ රකුසා අද පෞද්ගලික අංශයත් විනාශ කරනවා. රටේ නායකයන්ගේ, එහෙම නැත්නම් තාත්තලා, බාප්පලා, පුතාලගෙ අයථා ලෙස උපයන කළු සල්ලි සුදු කරන කීකරු ගෝලබාලයන්ගෙන් සමන්විත ‘මාෆියාවක්’ අප රටේ කොටස් වෙළෙඳපොළ තුළ පිස්සු නටනවාය කියලා කොටස් වෙළෙඳ පොළේ ප‍්‍රධානියා අස්වෙන්න යනවා. අනෙක් පැත්තෙන් මේ මාෆියාවම තමයි වැඩ කරන ජනතාවගේ EPF සහ ETF ඉතුරු කිරීම්වලිනුත් ගසා කෑවේ.

අවනීතිය අද කී‍්‍රඩා ක්ෂ්ත‍්‍රයත් යටපත් කරගෙන ඉවරයි. පරාජය දරා ගන්න බැරි චෞර පුතාලා නාවික හමුදාවත් එකතු කරගෙන පොලිසිය බලාගෙන ඉන්නැද්දි ජයග‍්‍රාහී කණ්ඩායමට කුණුහරුප කියමින් පහර දෙනවා. රෙෆ්ලිලාට තර්ජනය කරනවා. බැට්මින්ටන් කී‍්‍රඩාවේ නොම්බර එකේ කී‍්‍රඩිකාව ඉන්නැද්දි දහවෙනියට ආපු කී‍්‍රඩිකාව ඔලිම්පික් තරගෙට ගෙනියනවා. ලක්‍ෂ 70 ක ඔලිම්පික් කී‍්‍රඩා ටිකත් තාත්තලා පුතාලා තමන්ගේ මිතුරන්ට බෙදලා දෙනවා.

ඒ විතරක් නෙවෙයි, අද මේ අය ආගම් භේදයත් අවුස්සනවා. මුස්ලිම් පල්ලිවලට රජයේ දේශපාලඥයින්ගේ මෙහෙයවීමෙන් පහර දෙනවා. කි‍්‍රස්තියානි පල්ලි ගිනි තියනවා, පහර දෙනවා. මේ සියල්ල වෙද්දී පොලිසිය අත් බැඳගෙන අනෙක් පැත්ත බලාගෙන ඉන්නවා.

මේ සිදුවෙන මහා අපරාධ ජනතාවට සැබෑ ලෙස වාර්ථා කරයි කියලා තියෙන බයට අද මාධ්‍ය සියල්ලේම වගේ කට වහලා ඉවරයි. ලසන්ත වික‍්‍රමතුංගලාට වෙච්ච දේ ගැන හිතලා, පෝද්දල ජයන්තලාට වෙච්ච දේ ගැන හිතලා, ප‍්‍රදීප් එක්නැලිගොඩට වෙච්ච දේ ගැන හිතලා අනෙක් මාධ්‍යවේදියනුත් තමන්ගේ අඹු දරුවන් ගැන හිතලා මේ අපරාධ ගැන සැබෑ තොරතුරු ලියන්නේ නැහැ. ආණ්ඩුවට අවශ්‍ය විදියට පාලනය කරන්න බැරි වුණේ වෙබ් අඩවි ටික විතරයි. ඒවා පස්සෙත් දැන් මේ ආණ්ඩුව පන්නනවා. ජනාධිපතිතුමාගේ රාජකීය මහිමය නැති කරයි කියන චෝදනාවට ‘ශී‍්‍ර ලංකා එක්ස් නිව්ස්’ වෙබ් අඩවියටත් කඩාගෙන පැනලා තේ හදන කාන්තාවත් අත්අඩංගුවට ගත්තා.

කෙටියෙන් කිව්වොත්, රාජකීය අනුග‍්‍රහය ඇති මැරවරයො අද ගමේ රජ කරනවා. රාජ්‍ය ආරක්‍ෂාව ඇති කුඩු මුදලාලිලා නගරයේ රජ කරනවා. ඒගොල්ලො බලා ගන්න ආණ්ඩුවේ අය ඉන්නවා. ආණ්ඩුවේ අය බලා ගන්න තාත්තලා, බාප්පලා, පුතාලා ඉන්නවා. මේ සියල්ල ඉදිරියේ පොලිසියත්, අධිකරණයත් අනෙකුත් ස්වාධීන ආයතනත් අසරණ වෙලා බලාගෙන ඉන්නවා. සමනල කන්දෙන් පටන් අරන් ගලා බසින සිව්මහා ගංඟා වගේ, රටේ මුදුන් පෙත්තෙන් පටන් ගෙන අවනීතිය පල්ලෙහාටම ගලා බසිනවා.

මේ සිදුවන මහා විනාශය ඉදිරියේ තවදුරටත් අපට නිහඬව සිටින්න බැරි නිසා අපි ‘අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරය’ පසුගිය ජනවාරි මාසෙ විපක්‍ෂ නායකතුමාගේ මග පෙන්වීම යටතේ අප ග‍්‍රාමීය මට්ටමෙන් හඳුන්වා දුන්නා. අපේ ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරුන්ට වැඩමුළු තියලා අවනීතියට එරෙහි කමිටු ගම් මට්ටමින් පටන් ගන්න උපදෙස් දුන්නා. නමුත් මෙය එක පක්‍ෂයකට සීමා වුණු ප‍්‍රශ්නයක් නෙවෙයි. අවනීතියේ රකුසා පරාජය කිරීම පක්‍ෂ භේද, ජාති භේද, ආගම් භේදයෙන් තොරව කි‍්‍රයාත්මක කළ යුතු ජාතික වගකීමකි. අන්න ඒ නිසා තමයි අද ඉදලා අපි මේ සටන ජාතික ව්‍යාපාරයක් හැටියට ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් නිදහස සහ මිනිසත්කම අගයන සියලූ දෙනාට එකතු වෙන්න පුළුවන් වේදිකාවක් ඇති කිරීමේ අවශ්‍යතාවය අපි දකිනවා. සමාජයේ ආගමික නායකයන්, ප‍්‍රභූවරුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන් පමණක් නොව, තමන්ගේ ¥ දරුවන්ගේ අනාගතය ගැන සිතන අම්මලා තාත්තලත්, තමන්ගේ අධ්‍යාපනය ගැන හිතන දූ දරුවන්ටත් මේ වේදිකාව විවෘතයි. අවනීතියට එරෙහිව පෙළ ගැසෙනවා වගේම, නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේ සංවාදයක්ද මේ වේදිකාව ඇති කර ගන්නට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

මේ අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑම සඳහා අද අපත් සමග එක්ව සිටින සියලූ දෙනා නැවත වතාවක් මම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරාවැව මහතා අද මූලාසනය පිළිගනිමින් මෙම ව්‍යාපාරයට නායකත්වය ලබාදීමට ඉදිරිපත්වීම ගැනද මාගේ ගෞරවය, ස්තූතිය පුද කරනවා. ඊට අමතරව, අද විශේෂ දේශන සඳහා මේ ස්ථානයට පැමිණ සිටින

1.

2.

3.

4.

5.

 

එපමණක් නොව, අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරයට මගපෙන්වීම සඳහා අපත් සමග එක්ව සිටින ගරු විපක්‍ෂ නායකතුමා රනිල් වික‍්‍රමසිංහ මහතාවද ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. විපක්‍ෂයේ විරෝධයේ අනිත් නායකයන්ද,

1. ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා.

2. මනෝ ගනේෂන් මහතා.

3. සිරිතුංග ජයසූරිය මහතා.

4. සරත් මනමේන්ද්‍ර මහතා.

5. අරුණ ද සොයිසා මහතා.

ගෞරවයෙන් පිළිගන්නවා. අද මැතිවරණ කටයුතු නිසා මෙම සමුළුවට සහභාගි නොවුණත්, අප වැඩ පිළිවෙළට සහයෝගය දුරකථනයෙන් ප‍්‍රකාශ කර ඔභ් පක්‍ෂයේ සුමන්දිරන් මහතාට මගේ ස්තූතිය පළ කරනවා. ඒ වගේම, අද මේ ස්ථානයට පැමිණ සිටින සියලූම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු, පළාත් සභා මන්තී‍්‍රවරුන් පමණක් නොව, ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණ සිටින අවනීතියේ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රාදේශිය නියෝජිතයන්ද ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින්, මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

Share

AddThis Social Bookmark Button