Lanka News Web

විශ්ව විද්‍යාල ගුරු අරගලයට තවත් වෘත්තීය සමිති එක්වෙති

Share

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මෙන් ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කොට තිබෙන වැඩ වර්ජනයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක් සහාය පළ කරති.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම සහ විශ්ව විද්‍යාල ගුරු වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන විශ්ව විද්‍යාල ආචාර්යවරු පසුගිය ජුලි 04 වැනිදා සිට වැඩ වරා සිටිති.

විශ්ව විද්‍යාල ගුරුවරුන් ගේ සටනට වෘත්තීය සමිති මෙසේ සහාය පළ කළේ රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීම යන තේමාව යටතේ කොළඹදී පැවැත්වුණු සමුළුවක දී.

එක වේදිකාවකට ඒම

විවිධ මතභේද හේතුවෙන් වෙන් වෙන් සටන් පෙරමුණුවල සිටින වෘත්තීය සමිති ගණනාවක් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම පිණිස එක වේදිකාවකට ඒමේ ප්‍රවණතාවයක් ලෙසිනුයි කොළඹ සිටින බීබීසී වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දු මේ තත්ත්වය විග්‍රහ කරන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ ට අනුබද්ධ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අදහස් දක්වමින් කියා සිටියේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉදිරිපත් කරන සටන් පාඨවලට විවිධ දේශපාලන අදහස් දරන සියලු දෙනාගේ සහයෝගය පළ වී ඇති බවයි.

වැටුප් ප්‍රශ්නය වැනි ආර්ථික ඉල්ලීම් පසෙක ලා රාජ්‍ය අධ්‍යාපනයේ ප්‍රගතියට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ගේ කැපවීම නිසා අනෙකුත් වෘත්තීය සමිතිවලට පවා ඊට සහාය දැක්වීමෙන් ඈත්විය නොහැකි බව, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි ගේ අදහසයි.

සමුළුවට වෘත්තීය සමිතිවලින් ලැබුණු සහයෝගය පිළිබඳව සැහීමකට පත්වන බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි බීබීසී සංදේශය ට කියා සිටියේ.

තම අරගලය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිණිස ලබන සතිය වන විට වෘත්තීය සමිතිවල සහයෝගය ද ඇතිව වීදි බසින බව ද විශ්ව විද්‍යාල ආචාර්යවරු පවසති.

-BBC සංදේශය-

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 18 වෙනි සෙනසුරාදා, 16:23