Lanka News Web

උසස් පෙළ විභාග ප්‍රතිඵල අවුල ජනාධිපතිගේ හදිස්සිය නිසාලු

Share

උසස් පෙළ විභාගයේ “Z ’’ලකුණ සම්බන්ධයෙන් බරපතල අවුලක් පැන නැගුනේ ඊට අදාළ විභාග ප්‍රතිඵල ඉක්මනින් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් දුන් නියෝගයක් නිසා යැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.

කාණ්ඩ දෙකක් යටතේ උසස් පෙළ “Z ’’ ලකුණ ගණනය කළ යුතු බැවින් ඊට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව ඊට අදාල විශේෂඥ ආචාර්යවරුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා තරයේ ප්‍රතික්ෂේප කළ බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කලේය.

ඉන් නොනැවතුන ජනාධිපතිවරයා විභාග ප්‍රතිඵල පමාව විවේචනය කරමින් පෞද්ගලික මාධ්‍ය හරහා විශේෂ ප්‍රචාරයක් ගෙන ගිය බව ඔහු සඳහන් කලේය. ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරුන් දෙදෙනාගේ ඉල්ලීම් නොසලකා හරිමින් මෙසේ කඩි මුඩියේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට බලපෑම් කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බව මේ වන විට හෙලි දරව් වී ඇත.

විදේශ සරසවියක අධ්‍යාපනය හැදෑරීමට බලා සිටි සිසුවකු උසස් පෙළ විභාග ප්‍රතිඵල පමාව නිසා තමන්ට අදාල විදේශ සරසවියට අයදුම් කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි තම පියා සමඟ ජනපති හමුවී දැනුම් දී ඇත. එම සිසුවාගේ පියා ජනාධිපතිගේ සමීපතම මිතුරෙකි. විභාග ප්‍රතිඵල ඉක්මනින් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට බලපෑම් කර ඇත්තේ ඉන් අනතුරුවය. එම සිසුවා මේ වන විට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශ ගතව සිටී.

Share

AddThis Social Bookmark Button