Lanka News Web

දිමූව විශ්‍රාම ගැන්වීමට යයි.

Share

අග්‍රාමාත්‍ය දිමූ ජයරත්න මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන එළඹෙන පළාත් සභා මැතිවරණය අවසන් වූ වහාම කැබිනට් සංශෝදනයක් සිදු කොට අගමැති ධූරය වෙනත් අයෙකුට පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අරලිය ගහ මන්දිර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා එම තනතුරෙන් ඉවත් කළ ද ඔහුට විශ්‍රාම සුවය නිදහසේ ගත කළ හැකි ගෞරවණීය තනතුරක් ලබා දෙන බව ජනාධිපතිවරයා අගමැතිවරයාගේ පුතා කැඳවා පොරොන්දු වී තිබේ. මේ අනුව අගමැතිවරයා ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද විශ්‍රාම ගැන්වීමට නියමිත ය.

කෙසේ වුව ද ආණ්ඩුවේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු අප කළ විමසීමක දී කියා සිටියේ ඊළග අගමැතිවරයා නම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලවත් අර්බුධයකට ලක් ව සිටින බවයි. ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත් ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති ධූරය ලබා ගැනීම සඳහා මේ වන විට සීතල යුද්ධයක් ආරම්භ කොට ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ ශ්‍රිලනිප ආසන සංවිධායකයා ලෙස නම් කොට ඔහු ළගදීම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමෙන් මෙසේ මෙම සීතල යුද්ධය දේශපාලන කරලියට පැමිණ තිබේ.

අප වෙත වාර්තාවන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමට ආණ්ඩුවේ ශ්‍රීලනිප ජේෂ්ඨයින් මේ වන විටත් ප්‍රසිද්ධියේ විරෝධය පළ කරමින් සිටී. කෙසේ වුව ද ජනාධිපතිවරයාගේත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේත් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේත් ආශිර්වාදය හිමිව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය.

කෙසේ වුව ද ශ්‍රීලනිප ජේෂ්ඨ සාමාජිකයෙකු අප කළ විමසීමේ දී සඳහන් කර සිටියේ මේ තිදෙනාගෙන් කවරෙකු පත් කළ ද ශ්‍රීලනිප අභ්‍යන්තරයේ බරපතල අර්බුධයක් මතුවිය හැකි බවයි. එසේ හෙයින් ජනාධිපතිවරයා වෙනත් විකල්පයක් කරා යාමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එහි දී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කෙරෙහි ය. නමුත් ස්වභාවයෙන්ම අකර්මන්‍ය චරිතයකින් හෙබි පුද්ගලයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා පිළිබඳව ද ජනාධිපතිගේ පවුලේ අනෙක් උදවියගේ ඇත්තේ බලවත් දෙගිඩියාවකි. ඔවුන්ගේ අදහස වන්නේ අගමැති තනතුර සඳහා පත් කළ යුතු වන්නේ ජනාධිපතිවරයාට පහසුවෙන් හැසිරවිය හැකි පුද්ගලයෙකු බවයි.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 14 වෙනි අඟහරුවාදා, 08:51