Lanka News Web

“ස්වාධීනව කටයුතු කරනවා මිසක් ආණ්ඩුවට එක් වන්නේ නෑ.’’ දයාසිරි පවසයි

Share

“දෑත් ශක්තිමත් කිරීමට පෙර දයාසිරි බැංකොක් යයි’’ යනුවෙන් පසුගිය දා අප පළ කළ පුවත සම්බන්ධයෙන් බැංකොක් නුවර සිට අප කතෘ මණ්ඩලයේ සාමාජිකයෙකු සමඟ අදහස් දැක් වූ කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිට ඇත්තේ අදාල වාර්තාව මුළුමනින්ම අසත්‍ය එකක් බවත් කවුරුන් කෙසේ පැවසුවත් ආණ්ඩුවට එක් වීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවයි.

“රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ප්‍රථම එජාප නායකයා පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව ඇතැයි ද, තමන්ගේ ඒකායන අරමුණ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් හෝ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් කිරීම’’ බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා තිබේ.

තමා පසුගිය දිනවල ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට තැබුවේ ඩෙංගු උණ රෝගය වැළදී සිටි නිසා බවත් බැංකොක් නුවරට පැමිණියේ වෛද්‍ය උපදෙස් මත විවේක ගැනීමට මිස ආණ්ඩුවෙන් ලැබුණු මිලියන ගණනක මුදල තැන්පත් කිරීමට නොවන බවයි. කිසියම් හෝ පුද්ගලයෙකුට තමා ආණ්ඩුවෙන් සත පහක මුදලක් ලබා ගෙන ඇති බව ඔප්පු කිරීමට හැකි නම් එවේලේම තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ජයසේකර මහතා අවධාරණය කර තිබේ. බැංකොක් නුවරට පවා පැමිණීමේ ගුවන් ටිකට් පත් තමා පෞද්ගලිකව මිලදී ගත් ඒවා බවත් ඒ සදහා කිසිදු අනුග්‍රහයක් නොලද බවත් තව දුරටත් පවසා තිබේ.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වා ඇති දයාසිරි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මෙම සියළුම ප්‍රවෘත්ති එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් තමාට එරෙහිව අරඹා ඇති මඩ ව්‍යාපෘතියේ අදියරක් බවත් ඇය තමා පිළිබඳව ලිංගික ඊර්ෂ්‍යාවකින් පෙළීම පිළිබඳව තමාට ඇත්තේ අනුකම්පාවක් බවත් මෙවැනි මඩ ප්‍රචාරවලින් තමන්ගේ දේශපාලන ගමන නවතාලිය නොහැකි බවයි.

Share

AddThis Social Bookmark Button