Lanka News Web

“බුදුසරණ’’ වෙසක් කළාපයේ පිටපත් ලක්ෂ 3 ක් “රිටන්’’

Share

මෙවර වෙසක් උළෙල නිමිත්තෙන් ආණ්ඩුවේ ලේක් හවුස් පුවත් පත් ආයතනය විසින් බුදුසරණ වෙසක් කළාපයේ පිටපත් පන්ලක්ෂ පනස් දහසක් (5,50,000) මුද්‍රණය කර ඇතත් ඉන් ලක්ෂ 3 කට වැඩි ප්‍රමාණයක් අලෙවි කර ගත නොහැකිව මේ වන විට යළි ලැබෙමින් පවතී.

මෙතරම් පිටපත් ප්‍රමාණයක් අලෙවි කළ නොහැකි බව අලෙවි අංශයේ ප්‍රධානී සෙන්දනායක මහතා විසින් දැනුම් දී ඇතත් සභාපති බන්දුල පද්මකුමාර මහතාගේ නියෝගය මත ලක්ෂ පහකට අධික පිටපත් ප්‍රමාණය මුද්‍රණය කොට ඇත.

අලෙවි නොවූ එම බුදුසරණ පුවත්පතේ පිටපත් මේ වන විට ලේක් හවුස් ආයතනය වෙත ලැබෙමින් පවතින අතර ඒවා ලේක් හවුස් ආයතනයේ ස්ථාන තුනක සඟවා තබා ඇත. සාමාන්‍යයෙන් අලෙවි නොවූ පිටපත් එම ආයතනයේ “කේවී යාඩ්’’ වෙත තැන්පත් කළ යුතු නමුත් මෙවර අලෙවි නොවූ පිටපත් වලින් වැඩි කොටසක් එම ආයතනය සතු කොටහේන ගබඩාවේ සහ ප්‍රධාන කාර්යාල ගබඩාවේ සඟවා තිබේ.

පසුගිය කාලය පුරාම අලෙවියට අවශ්‍ය පිටපත් ප්‍රමාණයට වඩා 60% කට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කරමින් බන්දුල පද්මකුමාර මහතා ජනාධිපතිවරයා නොමග යැවීමට කටයුතු කළ බවත් මුදල් අධ්‍යක්ෂක ශන්මුගදාසන් මහතා ඇතුළු සෙසු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් පවා මෙවර ක්‍රියාමාර්ගයට විරෝධය පළ කර තිබූ බව ලේක් හවුස් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති ප්‍රධානියෙකු අප වෙත පැවසී ය.

ලේක් හවුස් ආයතනයේ අලෙවි නොවී “රිටන්’’ වන පුවත් පත් ජාතික කඩදාසි සංස්ථාවට ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නියෝග කර ඇතත් සභාපති බන්දුල පද්මකුමාර මහතා එම නියෝගයට පිටු පාමින් පුවත් පත් කපා ජවාරම්කරුවන් හරහා ඉන්දියාවට පටවා කොමිස් ලබා ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසී ය.

Share

AddThis Social Bookmark Button