| Share |
කරූ ජයසූරිය මහතා එජාප නායකත්ව සටනට තරඟ කිරීමට බලපෑම් කොට නියෝජ්‍ය නායකත්ව ධූරය ඩැහැගත් සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට කරූ ජයසූරිය මහතාට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් අරඹා තිබේ.
කරූ ජයසූරිය මහතා තමා යටතේ සිටින තම අණ පිළිපදින පුද්ගලයෙකු ලෙස හුවා දැක්වෙන පරිදි සකස් කළ කතාවක් පසුගිය සති අන්තයේ දේශපාලන තීරු ලිපිවල පලකරනු ලැබ ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය යටතේ ය. ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා වන මහිලාල් මහතා විසින් සකසා හේමා ප්‍රේමදාස මහත්මිය වෙත මෙම ලිපිය ලබා දී ඇත. අනතුරුව ඇය තම ආරක්ෂක නිලධාරීන් හරහා දේශපාලන තීරු ලිපි ලියන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එම ලිපිය පෞද්ගලිකවම යොමු කර තිබේ.
මෙවර පළාත්සභා මැතිවරණයේදී එජාප අපේක්ෂකයින් දිරිමත් කිරීම වෙනුවෙන් කරූ සහ සජිත්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබුණ ද ප්‍රේමදාස මහතා තම කණ්ඩායමේ තීරණයට පිටු පා වික්‍රමසිංහ මහතා සමඟ රැස්වීම්වලට සහභාගී වීම නිසා මේ වනවිට එම කණ්ඩායමේ අර්බුද මතු වී තිබේ.
පසුගිය දා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පක්ෂ නායකයා තෝරා ගැනීම වසර 6 කට දීර්ඝ කිරීමෙන් තීන්දුව ගන්නා අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා තම ජංගම දුරකතනය විසන්ධි කොට රැස්වීමට සහභාගි නොවී නිහඬව සිටියේ මලික් සමරවික්‍රම මහතා අතර ඇති කර ගත් සම්මුතියක් අනුව බවට සජිත් කණ්ඩායම සැක පහළ කරයි. රනිල් හා සජිත් අතර සම්මුතියක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතා බලවත් උත්සාහයක නිරත වේ.
සජිත් ප්‍රේමදාස මහතා තම කණ්ඩායමේ මතයට පිටු පා තනි ගමනක් යන බව සජිත් කණ්ඩායමේ කිහිප දෙනාගේ මතය වී ඇත. සජිත් කණ්ඩායමේ ක්‍රියාකාරීන් ලෙස ගැනෙන තලතා අතුකෝරල, දුනේෂ් ගන්කන්ද, රංජිත් මද්දුම බණ්ඩාර මේ වන විට දැඩි කලකිරීමෙන් පසු වන අතර ඔවුන් ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න, බුද්ධික පතිරණ හා ලාල් පෙරේරා ගේ ආවේගශීලී දේශපාලන ක්‍රියාමාර්ග පිළිබදව විරෝධය පළකරමින් සිටී. සජිත් කණ්ඩායමේ ප්‍රධානියෙකුව සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා රනිල් සහ සජිත් පමණක් නොව ෆොන්සේකා මහතාව ද දැඩිව විවේචනය කරමින් ආණ්ඩුවට නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කරන අතර තවත් එම කණ්ඩායමේ ප්‍රභල සාමාජිකාවක් වන රෝසි සේනානායක මහත්මිය සජිත් කණ්ඩායමේ කටයුතුවලින් බැහැර වී වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගනිමින් දේශපාලන කටයුතුවල නිරත වී සිටී.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











