Lanka News Web

ලෝකයේ දූෂිතම ආණ්ඩුවක් හෝ සේවක අර්ථසාධක මුදලට අතතබා නැහැ - රනිල් වික්‍රමසිංහ

Share

"ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී අපි ඡන්දය දුන්නේ සන්ධානයටයි.... මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාටයි... මගේ තාත්තා ගොවියෙක්. ඔහු විශ්‍රාම ගෙන සිටින නමුත් ඔහුට ගොවි විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැහැ. මමත්, අපේ සමාගමෙන් දැන් විශ්‍රාම ගැනීමටයි යන්නෙ.. මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව අර්ථ සාධක අරමුදලටත් ගහලා... මගේ භාර්යාව රුපියල් 50,000 ක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් කළා. මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව ඒ බැංකුවටත් ගැහුවා. මගේ පුතා උසස් පෙළ විභාගයට ලිව්වා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ඉසෙඩ් ලකුණින් ඒ විභාග ප්‍රතිඵලවලටත් ගැහුවා. යන්න තැනැක් නැහැ... කරන්න කිසිවක් නැහැ.... ඊළඟ සැරේ නම් මුන්ට විරුද්ධව ඡන්දය දෙනවා" යැයි ගිය සතියේ මට හමුවූ එක්තරා සේවකයෙක් මා සමඟ කියා සිටිබව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ ඊයේ (03) කොළඹ නව නගර ශාලාවේදී පැවති වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුවේදී අදහස් දක්වමිනි. එහිදී එතුමා මෙසේද පැවසීය.

රටේ සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදල, ගොවි ජනතාවගේ ගොවි විශ්‍රාම වැටුප සහ රටේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කොල්ල කා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව අලූත් ලෝක ගිනස් වාර්තාවක් තබා තිබෙනවා. ලෝකයේ දූෂිතම ආණ්ඩු ලැයිස්තුවේ සිටින සමහර රටවල ආණ්ඩු ආණ්ඩුවේ මුදල් ගෙන සිය සාක්කුවට ඔබා ගෙන තිබෙන අතර තවත් සමහර ආණ්ඩු ආණ්ඩුවේ මුදල් සිය පුද්ගලික දේපොළ ලෙස පාවිච්චි කර තිබෙනවා. සමහර ආණ්ඩු විවිධ ව්‍යාපාර කර කොමිස් ගසා තිබෙන අතර තවත් සමහර ආණ්ඩු විවිධ ජාවාරම්කරුවන් සමග වැඩ කර තිබෙනවා.

නමුත් ලෝකයේ දූෂිතම ආණ්ඩු ලැයිස්තුවේ සිටින මේ කිසිදු ආණ්ඩුවක් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වගේ ඒ ඒ රටවල කම්කරුවාගේ අර්ථ සාධක අරමුදලටවත්, විශ්‍රාම වැටුපටවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවටවත් අත තබා නැහැ. ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වාර්තා තැබීමට නොහැකි නිසා දෝ මේ ආණ්ඩුව යටතේ අප අර්ථ සාධක අරමුදල, ගොවි විශ්‍රාම වැටුප සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කොල්ල කා ගිනස් වාර්තාවක් ද, ඔලිම්පික් වාර්තාවක් ද තබා තිබෙනවා.

සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදල කියන්නේ ලෝකයේ කම්කරු ජනතාවට තිබෙන විශ්‍රාමික අයිතිය බව පැහැදිලිව කිව යුතුයි. ලෝකයේ එදා ඇති වූ වෘත්තීය සමිති සටන් සහ සේවක අරගල ඔස්සේ කම්කරු ජනතාවට 20 වැනි ශත වර්ෂයේ දී මේ අයිතිවාසිකම ලැබුණා. සේවක අර්ථ සාධක අරමුදලට අමතරව දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා යටතේ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල ද අප පිහිටවූයේ සේවක සේවිකාවන්ගේ අයිතීන් සහ අවශ්‍යතා අනුවයි.

ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම අරමුදල සේවක අර්ථ සාධක අරමුදල වන අතර අපේ රටේ සිටින ධනවත්ම පුද්ගලයා සතු ව්‍යාපාර ඇතුලූ සියලූ වත්කම් මේ අරමුදලේ තිබෙන කාසිවලින් මිලදී ගත හැකියි.

සේවක සේවිකාවන් සතු මේ අර්ථ සාධක අරමුදල ආරක්‍ෂා කිරීමට එක්සත් ජාතික පක්‍ෂය ඇපකැප වී සිටින්නේ ඒ නිසයි. මේ අරමුදල ආරක්‍ෂා කිරීමට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ශ්‍රී ලංකා මහ බැංකුවට සහ එම අරමුදලේ පාලක මණ්ඩලයට එදා කොන්දේසි පනවා ඒ අයිතිය ඒ අයට පවරා දුන්නා. මේ අරමුදල පාවිච්චි කරමින් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරනවා නම්, එසේ කොටස් මිලදී ගත යුත්තේ කිනම් සමාගම්වලින් ද සහ ඒ කෙසේ ද යන්න පිළිබඳව ද 2002 දී අප කොන්දේසි පැනෙව්වා.

නමුත් අප එදා පැනවූ රෙගුලාසි කිසිවක් මේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක නොවන අතර කොටස් වෙළෙඳපොළේ තිබෙන සතයක්වත් නොවටිනා කොටස් සඳහා අර්ථ සාධක අරමුදලින් විශාල වශයෙන් මුදල් ගෙවා තිබෙනවා. බංකොළොත් භාවයට පත්ව කිසිදු වත්කමක් නොමැතිව කඩා වැටී තිබෙන සමාගම්වල කොටස් සේවක අර්ථ සාධක අරමුදලින් විශාල වශයෙන් මුදල් වියදම් කර මිලදී ගත්තේ ඇයි?

මේ ගනුදෙනු සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති ඇතුලූ සියලූ පාර්ශ්වයන් වහාම කරුණු සොයා බැලූ අතර අප මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ නමුත් ඒ කිසිවකට ආණ්ඩුව පිළිතුරු දුන්නේ නැහැ.

සේවක අර්ථ සාධක අරමුදල පාවිච්චි කරමින් කොටස් වෙළෙඳපොළේ මිලදී ගත් කොටස් පිළිබඳව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඒ සඳහා පිළිතුරු ලබා දීමට තෙමසක් කල් ඉල්ලූ ආණ්ඩුව ඒ කාලය ගෙවී ගියාට පසුව තවත් තෙමසක් ඒ සඳහා කල් ඉල්ලා සිටියා.

2010 සිට 2012 මැයි මස අවසන් වන තුරු සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල මිලදී ගත් කොටස් කවරේද? කොටස් මිලදී ගන්නා විට කොටසක වටිනාකම කොපමණ ද? ඒ කොටස් මිලදී ගැනීම සඳහා යෙදවූ මුලූ මුදල කොපමණද? මේ වන විට එම කොටසක වටිනාකම කොපමණද යනුවෙන් පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මා ප්‍රශ්න කළා.

මම ඇසූ මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලෙස ආණ්ඩුව විනාඩි 45 ක් පමණ මුළුල්ලේ පාර්ලිමේන්තුවේ විවිධ කතා කියා සිටි නමුත් මම ඇසූ ඒ කිසිඳු ප්‍රශ්නයකට කිසිඳු පිළිතුරක් ලැබුණේ නැහැ. රටේ බරපතළ ප්‍රශ්නයක් ගැන විරුද්ධ පක්‍ෂයේ නායකයා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමටවත් මේ ආණ්ඩුවට හැකියාවක් ඇත්තේ නැහැ.

සේවක අර්ථ සාධක අරමුදල පාවිච්චි කරමින් ආණ්ඩුව සිදු කළ මේ ගනුදෙනුවල වටිනාකම රුපියල් කෝටි 5000 ක් පමණ වන බවට අපට විවිධ තොරතුරු වාර්තා වන අතර ඒ ප්‍රමාණය කොපමණ ද කියා නිවැරදිව සොයා ගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. මේ අනුව බැලූවාම කොළඹගලදාරි හෝටලය පවා අපට මේ වෙනුවෙන් අත්පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. රුපියල් කෝටි 5000 ක් වටිනා එක සමාගමක් හෝ ශ්‍රී ලංකාවේ තිබෙනවාද?

රට අභ්‍යන්තරයේ සිට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය උපයන ඇඟළුම් කර්මාන්තයේ, තේ කර්මාන්තයේ සහ සංචාරක ව්‍යාපාරයේ ද, මේ ජනමාධ්‍යවේදීන්ගේ ද ඇතුලූ සමස්ත සේවක සේවිකාවන්ගේ මුදල් තිබෙන්නේ මේ සේවක අර්ථ සාධක අරමුදලේයි.

සේවක සේවිකාවන්ගේ මේ අර්ථ සාධක අරමුදල ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින වාමාංශික දේශපාලන පක්‍ෂ නායකයින් ආරක්‍ෂා කර දේවි යැයි මම සිතුවා. නමුත් මේ ගැන කතා කිරීමට ඒ නායකයින් ද, සමහර වෘත්තීය සමිති නායකයින් ද අකමැති බව පැහැදිලිව පෙනී යනවා.

මේ තත්ත්වය යටතේ දේශපාලන පක්‍ෂ වශයෙන් නොව වෘත්තීය සමිති ලෙස මේ වේදිකාවේ සිටින සියලූ වෘත්තීය සමිති සේවක අර්ථ සාධක අරමුදල ආරක්‍ෂා කර ගැනීම ඇතුලූ සේවක සේවිකාවන්ගේ අයිතීන් වෙනුවෙන් එකට එක්ව සිටිනවා. ඊට විශේෂයෙන් ප්‍රශංසා කරන මම එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහයෝගය මේ සියලූ වෘත්තීය සමිතිවලට ලබා දීමට ඇපකැප වන බවට සහතික වනවා.

වෘත්තීය සමිති ලෙස සේවක අයිතීන්, ඉල්ලීම් සහ අවශ්‍යතා වෙනුවෙන් මේ වෘත්තීය සමිති ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට අප සහයෝගය ලබා දෙන අතර මේ සටන වෙනුවෙන් මහ පාරට බැසීමට සූදානම් නැති වෘත්තීය සමිති නායකයින් සහ වෘත්තීය සමිති සිටිනවා නම් ඒ අය පිළිබඳ තොරතුරු ද අප රටට හෙළි කළ යුතුව තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙසේ පැවසීය.

දේශපාලන ප්‍රතිපත්ති සහ අනන්‍යතා ඒ අයුරින්ම තිබිය දී සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම්, ඉල්ලීම් සහ අවශ්‍යතා ද, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, සාමය සහ නිදහස ද ඇතුලූ පොදු කාරණා වෙනුවෙන් සියලූ දේශපාලන පක්‍ෂ සහ නායකයින් එකට එක්විය යුතු බවට සමස්ත වැඩ කරන ජනතාවගෙන් කෙරුණු ප්‍රබල ඉල්ලීමට අනුව සියලූ වෘත්තීය සමිති එකට ඒකරාශී කර අප මේ වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුව සාර්ථක ලෙස සංවිධානය කළා.

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල ආරක්‍ෂා කර ගැනීම, සියලූ සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කිරීම, ජීවනාංක දීමනාව ඇතුලූ ඉල්ලීම්, අවශ්‍යතා සහ අයිතීන් රැසක් වෙනුවෙන් එකට ඒකාබද්ධව අප ආරම්භ කළ මේ අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවට සහතික වනවා.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ ජාතික සේවක සංගමයේ සභාපති ජයලත් ජයවර්ධන මහතා මෙසේ පැවසීය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ගොවි විශ්‍රාම වැටුප් අරමුදළ සිය අම්මාගෙන්, අප්පාගෙන් ඒ අයට ලැබුණු පෞද්ගලික බූදලයක් සේ සලකා, කොල්ලකා විනාශ කර වැඩ කරන ජනතාව අනාථ කර තිබෙනවා.

ගමනා ගමන මණ්ඩලයේ සේවක සේවිකාවන්ගෙන් ගෙවුණු අවුරුද්දේ දී අර්ථ සාධක අරමුදල් ලෙස රුපියල් කෝටි 576 ක් මේ ආණ්ඩුව මෙතෙක් මහ බැංකුවේ තැන්පත් කර නොමැති අතර ඒ මුදලට සිදු වූයේ කුමක්ද කියා කවුරුවත් දන්නේ නැහැ.

සිව්වන වතාවටත් බාල වර්ගයේ තෙල් රටට ආනයනය කරමින් මහා විශාල දූෂණයක් නැවත සිදු කර තිබෙන අතර බාල වර්ගයේ ඉන්ධන භීතිකාව හේතුවෙන් අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට විදේශ රටවල ගුවන් යානා ගොඩනොබසින තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 1994 ජනාධිපතිවරණයේ දී ක්‍රියා කළ ආකාරය ගැන උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැත්වෙන මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේනට හදිසියේම මතක් වූයේ මේ තරම් කාලයක් බකන් නිලාගෙන සිටියාට පසුවද?

මෛත්‍රීපාල සිරිසේනගේ පඬුපුල් ආසනය මෙසේ රත් වී ඔහු මේ කෑ ගහන්නේ උතුරු මැද පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට ගිය අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග විශාල ජනකායක් එකට ඒකරාශී වූ නිසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය දූෂණයෙන් සහ වංචාවෙන් ඔද්දල් වී සෞඛ්‍ය ක්ෂේත්‍රය මුළුමනින්ම කඩා වැටී අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොමැතිව රෝහල් පද්ධතිය කඩා වැටී රෝගීන් අන්ත අසරණ වී කල් ඉකුත් වූ ඔඣීෂධ හේතුවෙන් අසරණ රෝගීන් අයාලේ ජීවිතක්‍ෂයට පත්වන භයානක තත්ත්වයක් මෛත්‍රීපාල සිරිසේන නිසා මේ රටේ ඇති වී තිබෙනවා. එසේ නම් ඔහු කළ යුත්තේ මේ සම්බන්ධනේ කරුණු සොයා බලා රටත් ජනතාවත් වෙනුවෙන් වහාම පියවර ගැනීමයි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙසේ පැවසීය.

සේවක අයිතීන්, ඉල්ලීම් සහ අවශ්‍යතා තහවුරු කෙරෙන වෘත්තීය සමිති ව්‍යාපාරය විවිධ උපාය උපක්‍රම ඔස්සේ මර්ධනය කරමින් සිටින ආණ්ඩුව අධිකරණ වාරණ නියෝග මගින් ද ඒ සඳහා පියවර ගනිමින් වැඩ කරන ජනතා අරගලය මර්දනය කිරීමට අධිකරණය ද යොදා ගනිමින් සිටිනවා.

ජාත්‍යන්තරයට ගොස් කම්කරු ප්‍රඥප්ති අත්සන් කර කම්කරු අයිතීන් තහවුරු කිරීමට එකඟ වන ආණ්ඩුව රට අභ්‍යන්තරයේ ඒ කිසිවක් ක්‍රියාත්මක නොකරමින් වැඩ කරන කම්කරු ජනතාව සම්පූර්ණයෙන්ම තලා පෙළා මර්ධනය කරනවා.

කම්කරු ආ ඥා පනතේ 35 වැනි වගන්තිය අනුව යම් සේවක සේවිකාවන් පිරිසක් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට එරෙහිව වාරණ නියෝග ඉල්ලමින් සිවිල් අධිකරණවල නඩු පැවරීමට කිසිදු නීතිමය හැකියාවක් සහ බලයක් ඇත්තේ නැහැ.

නමුත් ඒ නීති සහ රෙගුලාසි පසෙක තබා මේ ආණ්ඩුව එම වැඩවර්ජනවලට එරෙහිව සිවිල් සහ දිසා අධිකරණවල නඩු පවරන අතර එම අධිකරණ ද ඒ නඩු මත වාරණ නියෝග නිකුත් කරමින් සිටිනවා.

සෞඛ්‍ය ෙක්‍ෂ්ත්‍රය දූෂණ, වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙන අතර බාල වර්ගයේ ඔඣීෂධ, වෛද්‍ය උපකරණ සහ රුධිර පාරවිලයන කට්ටල ඇතුලූ බොහෝ ද්‍රව්‍ය ගෙන්වමින් විශාල වශයෙන් දූෂණ සිදු කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තවමත් නිදැල්ලේ එම ධූරයේ කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ මේ ක්ෂේත්‍රයේ උද්ගත වී ඇති තත්ත්වයයි.

එම නිසා වැඩ කරන ජනතාවගේ අයිතීන් සහ අවශ්‍යතා වෙනුවෙන් ද මේ දූෂණයට සහ වංචාවට එරෙහිව ද වෘත්තීය සමිති ලෙස අප සියල්ලන් පක්‍ෂ සහ පාට භේදයෙන් තොරව වැඩ කරන ජනතාව වෙනුවෙන් එකට ඒකරාශී විය යුතුයි.

එහිදී අදහස් දැක්වූ නිදහස් වෙළෙඳ කලාපයීය පොදු සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාර්කස් මහතා මෙසේ පැවසීය.

රුපියල් කෝටි ලක්‍ෂයක් එනම්, රුපියල් ට්‍රිලියනයක් තිබෙන දකුණු ආසියාවේ විශාලතම, දැවැන්තම සහ ශක්තිමත්ම අරමුදල වන්නේ ශ්‍රී ලංකාවේ සේවක අර්ථ සාධක අරමුදලයි. 1958 දී ආරම්භ කළ මේ සේවක අර්ථ සාධක අරමුදලින් 93% ක් ම මේ ආණ්ඩුව මේ වන විට යොදා ගන්නේ සිය වියදම් පියවා ගැනීමට බව කිව යුතුයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් පොත්වල මේ මුදල් පිළිබඳ තොරතුරු ඇතුලූ ඉතිරිය සඳහන් වන නමුත් ඇත්ත වශයෙන්ම එම බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදලින් 93% ක් ඇත්තේ නැහැ. මේ තත්ත්වය යටතේ මේ මොහොතේ වැඩ කරන ජනතාව සිය අර්ථ සාධක අරමුදල් ඉල්ලා සිටියොත් ආණ්ඩුවට ඒ මුදල් ලබා දීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදු වන අතර එවිට සිදුවන්නේ රටේ උද්ධමනය වැඩි වීමයි.

වැඩ කරන ජනතාවගේ සල්ලිවලින් එදා වේල රෝල් කර ගන්නා මේ ආණ්ඩුව අපේම සල්ලි පාවිච්චි කර අපට පහර ගසා අපව මර්ධනය කිරීමට විවිධ නීතිරීති ඇතුලූ අණපනත් නිර්මාණය කරමින් සිටින නිසා ඊට එරෙහිව අප සියල්ලන් එකට පෙළගැසිය යුතුයි.

සේවක අර්ථ සාධක අරමුදලින් 1% ක් එම අරමුදල පරිපාලනය සඳහා වැය කරන අතර ඉතිරි 6% මේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ කොටස් වෙළෙඳපොළේ බංකොළොත් වූ සමාගම්වල ආයෝජනය කර ඒ වෙනුවෙන් කොමිස් ගැසීම සඳහායි.

සේවක අර්ථ සාධක අරමුදල 1958 පිහිට වූ මොහොතේ සිට මේ දක්වා විගණනය කර නොමැති අතර මේ අරමුදල වහාම විගණනය කළ යුතු බව අවධාරණය කරන අප මේ අරමුල සම්බන්ධයෙන් උද්ගත වී ඇති සියලූ තත්ත්වයන් පිළිබඳව කරුණු සොයා බැලීමට වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යැයි අවධාරණය කරනවා.

ලෝකයේ සියලූ රටවල් සිය මහ බැංකු අධිපතිවරයා ලෙස ආර්ථික විශේෂඥයින් පත් කරද්දී අපේ රටේ මහ බැංකු අධිපතිවරයා ලෙස ගණකාධිකාරීවරයෙකු පත් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළා. මේ සියලූ ප්‍රශ්නවලට හේතුව කිසිඳු සුදුසුකමක් නොමැති හුදු ගණකාධිකාරීවරයෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීම බව ද කිව යුතුයි.

එහිදී අදහස් දැක්වූ නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සිරිතුංග ජයසූරිය මහතා මෙසේ පැවසීය.

මහින්ද රාජපක්‍ෂ පවුල දේශපාලන ගැතිකම එකම සුදුසුකම ලෙස සලකා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ගණකාධිකාරීවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් පත් කර වැඩ කරන ජනතාව ඇතුලූ සමස්ථ ජනතාවගේ සල්ලි සහ දේපොළ කොල්ලකනවා.

ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අප ගෙන යන මේ අරගලයට යම් වෘත්තීය සමිතියක් හෝ වෘත්තීය සමිති නායකයෙකු සහාය නොදෙන්නේ නම් ඔහු මහින්ද රාජපක්‍ෂ පවුල් පාලනයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා ද, භීෂණය සහ මර්දනය ද අනුමත කරන්නෙකු බව කිව යුතුයි.

වැඩ කරන ජනතාවගේ අයිතීන්, ඉල්ලීම් සහ අවශ්‍යතා වෙනුවෙන් මේ අරගලයට එක්නොවී සම සමාජ පක්‍ෂයේ සහ කොමියුනිස්ට් පක්‍ෂයේ වාමාංශික නායකයින් යැයි කියා ගන්නා අය විවිධ තනතුරු සහ වරප්‍රසාද මත මහින්ද රාජපක්‍ෂ වන්දනාවේ යෙදී සිටිනවා. යම් ප්‍රශ්නයක් මතු වුණාම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කෝකටත් තෛලය වගේ අධිරාජ්‍ය විරෝධී බෝඩ් ලෑල්ල එල්ලා ගෙන ආණ්ඩුවට විරුද්ධව කතා කරන අයට අධිරාජ්‍යවාදී ගැත්තන් යැයි චෝදනා කරන නමුත් නව අධිරාජ්‍යවාදය අනුව අධිරාජ්‍යවාදයේ ශ්‍රී ලංකා සෘජු නිත්‍ය නියෝජිතයා වන්නේ මහින්ද රාජපක්‍ෂමයි.

මහින්ද රාජපක්‍ෂ පවුල් පාලනයේ ලේ මාපිල්ලූ ජනතාවගේ ලේ උරා බීමට එරෙහිව වැඩ කරන ජනතාව එකට ඒකරාශී කර මේ සටන අප නියත ලෙස ජයග්‍රහණය කරා මෙහෙය වනවා.

එහිදී අදහස් දැක්වූ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක මහතා මෙසේ පැවසීය.

වැඩ කරන ජනතාවට ජීවත් වීමට තිබෙන නිදහසත්, සිය අයිතීන් ඉල්ලීම් සහ අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට තිබෙන නිදහසත් උදුරා ගනිමින් ආණ්ඩුව විවිධ ක්‍රමෝපායන් ඔස්සේ මර්දනය ක්‍රියාත්මක කරමින් වෘත්තීය සමිති අරගල මර්දනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා.

වැඩ කරන ජනතාව ප්‍රධාන වෘත්තීය සමිති සිය අයිතිවාසිකම්, ඉල්ලීම් සහ අවශ්‍යතා වෙනුවෙන් කරන අරගල අධිකරණ වාරණ නියෝග මගින් තහනම් කරමින් එම අරගල මර්දනය කිරීමේ මේ නවතම ක්‍රමවේදය සකස් වූයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇතුලූ පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙනුයි.

මේ රටේ එදා සිට මේ දක්වා පැවැති සෑම රජයක්ම අනාගතයේ බලයට පැමිණෙන සියලූම ආණ්ඩු ද නඩත්තු කෙරුණේ සහ කෙරෙන්නේ ධනපතින්ගෙන් නොව වැඩ කරන ජනතාවගේ මුදල් තිබෙන මේ සේවක අර්ථ සාධක අරමුදලෙන් බව කිව යුතුයි. එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, ජාතික වතුකම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් කේ. වේලායුදන් සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ධර්මසිරි ලංකාපේලි යන මහත්වරු ද එහිදී කතා කළහ.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, සන්නිවේදන ඒකකයේ ප්‍රධානී මංගල සමරවීර, කොළඹනගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්, ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල්, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන මුජිබර් රහ්මාන් සහ ෆයිරූස් හාජ්ජියාර් ඇතුලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ද, වෘත්තීය සමිති සාමාජිකයින් ද ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

Share

AddThis Social Bookmark Button