Lanka News Web

දෑත් ශක්තිමත් කිරීමට පෙර දයාසිරි බැංකොක් යයි!

Share

ඉදිරි දින කිහිපය තුළ දී ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට එකතුවීමට නියමිත කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ (01) උදෑසන තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

දයාසිරි ජයසේකර මහතා මෙසේ කොළඹ සිට බැංකොක් නුවර බලා පිටත් වී ඇත්තේ ඊයේ (01) අළුයම 1.25 ට ගුවන් ගත වූ යූ එල් 888 නැමැති ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකිනි. ඊයේ දින සිට ලබන 06 වෙනිදා දක්වා බැංකොක් නුවර ගත කරන දයාසිරි මන්ත්‍රීවරයා 06 වනදා රාත්‍රී 21.10 ට යු එල්. 423 දරණ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව බලා නැවත පැමිණීමට නියමිත ය. කොළඹ BT Air Services සමාගමෙන් මන්ත්‍රීවරයා අදාල ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබේ.

දයාසිරි ජයසේකර මහතාගේ සමීපතම හිතවතියක් ඔහු සමඟ මෙම බැංකොක් සවාරිය සඳහා සහභාගි වන අතර ඇය ඊයේ (01) උදෑසන පෙ.ව. 7.00 ට යූ එල් 882 දරණ ශ්‍රි ලන්කන් ගුවන් යානයෙන් බැංකොක් බලා පිටත්ව ගොස් ඇත. ඇය අගෝස්තු මස 06 වන දා යූ එල් 887 ප.ව.6.55 ට ශ්‍රි ලංකාව බලා පැමිණීමට නියමිත ය. ඇයගේ ගුවන් ටිකට් පත් එජාන්තවරයා වන්නේ Classic Travels සමාගමයි.

තහවුරු නොවූ ආරංචි මාර්ග පවසන්නේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සහ හිතවතිය මෙසේ බැංකොක් නුවරට ගොස් ඇත්තේ දෑත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් ලද රුපියල් මිලියන සියයක මුදල විදේශ බැංකුවක තැන්පත් කිරීම සඳහා බවය.

දයාසිරි මන්ත්‍රීවරයා පසුගිය දිනක මහා නායක හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේ ප්‍රකාශ කොට සිටියේ තමා මෑත කාලයේදී ජනාධිපතිවරයා හමු නොවූ බවයි. නමුත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ පසුගිය ජූලි 24 වන දා සවස 5.00 ට කෝටිපති ව්‍යාපාරික තිරු නඩේසන් මහතාගේ නිවසේ දී ජනාධිපතිවරයා සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා හමු වූ බවයි. මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද සහභාගි වී තිබේ. මෙම හමුව සඳහා දයාසිරි මන්ත්‍රීවරයා පැමිණ ඇත්තේ ඔහු හා දැනට බැංකොක් ගොස් සිටින ඔහුගේ සමීපතම හිතවතිය පැදවූ රියකින් බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

අගෝස්තු මස 06 වන දා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන දයාසිරි ජයසේකර මහතා තමා ආණ්ඩුව සමඟ එක්වන බවට නිල නිවේදනයක් අගෝස්තු මස 07 වන දා හෝ 08 වන දා සිදු කිරීමට නියමිත ය.

කාලයක සිට Lanka News Web සමග සමීපව කටයුතු කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් මෙම සමස්ථ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට දැනට දින කිහිපයක සිට දැඩි උත්සාහයක නිරත වුව ද, ඔහු හා සම්බන්ධ විය හැකි සියළුම ප්‍රවේශ මාර්ග මේ වන විට ඇණහිට ඇති බැවින් ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඔහුගෙන් යම් ප්‍රතිචාරයක් ලද හොත් පළ කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

Share

AddThis Social Bookmark Button