| Share |
ශ්‍රී ලංකාව පකිස්ථානයේ ආධාර මත ත්‍රිකුණාමලයේ සාම්පූර් හි න්‍යෂ්ඨික බලාගාරයක් තැනීම සඳහා එකඟතාවයක් ඇති කොට ගෙන ඇති බවට, පසුගියදා ඉන්දීය ජනමාධ්‍ය විසින් කරන ලද හෙළිදරව්ව ඉන්දියානු ආණ්ඩුවේ දැඩි සැලකිල්ලට ලක්ව ඇත.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වර්තමාන විදුලිබල හා බලශක්ති අමාත්‍ය, චම්පික රණවක අමාත්‍යතුමා තම අමාත්‍ය ධූරය බාරගත් විගසම විශේෂයෙන් බලශක්තිය නිපදවීම සඳහා න්‍යෂ්ඨික බලය උපයෝගීකර ගැනීම පිළිබඳව දැඩි උනන්දුවකින් කතා කළ අමාත්‍යවරයෙකු බව ඉන්දියානු මතය යි. එතුමා ආණ්ඩුවට සම්බන්ධ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ධූරය දරණ දැඩි සිංහල ජාතික මතධාරී දේශපාලඥයකු වීම ඔවුන්ගේ එම තක්සේරුවට හේතු වී ඇත. ඉන්දියාවේ මතය වී ඇත්තේ, ශ්‍රී ලංකාව බලශක්තිය නිපදවීම කෙසේ වෙතත් න්‍යෂ්ඨික අවි හා මිසයිල බලය අත්පත් කර ගැනීම උදෙසා මෙම ව්‍යායාමයට එළඹී ඇති බවත් ඊට අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීමට සුදුසු රට වී ඇත්තේ පාකිස්ථානය බවත් ය.
ඉන්දියාවේ දේශපාලන අස්ථාවරභාවයට මෙන්ම ආරක්ෂාවට බලවත් තර්ජනයක් විය හැකි මෙවන් න්‍යෂ්ඨික අවි නිපදවා ගබඩා කිරීම දක්වා වූ ශ්‍රී ලංකාවේ මෙම පෙළඹවීම ගැන නොසන්සුන් වී ඇති ඉන්දියාවේ අභ්‍යන්තර සහ ඊට හිතවත් විදේශ බලවේග විසින් දැනටමත් ආණ්ඩුවට නොයෙකුත් බලපෑම් එල්ල කොට ඇති බවට වාර්තා ලැබී ඇත.
විශේෂයෙන් මේ පිළිබඳව ඉන්දීය ජනමාධ්‍ය විසින් කළ හෙළිදරව්වෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අශෝක් ශ්‍රී කාන්ත් මහතා මෙරට සිටම ඒ පිළිබඳ ඉන්දීයානු අග්‍රමාත්‍ය තුමා වෙත කරන ලද අවධාරණය සුළුවෙන් තැකිය නොහැකි කරුණක් බැව් විදෙස් කටයුතු පිළිබඳ විශේෂඥයන්ගේ මතය යි.
රැඩිකල් අදහස් දරණ දේශපාලඥයෙකු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස එම තනතුරේ සිටීමත්, ඔහුගේ අමාත්‍යංශය යටතේ, න්‍යෂ්ඨික හා පරමාණුක බලශක්ති අධිකාරය පිහිටා තිබීමත් ගැන ඉන්දියාවේ දැඩි අවධානයට ලක් වී ඇති කරුණක් බවට පත් වී ඇත. මේ පිළිබඳව ඉන්දියානු බලධාරීන්ගේ මැදිහත් වීම කෙතෙක් ද යත් චම්පික රණවක අමාත්‍යවරයාගේ දේශපාලනයට මෑත කාලයේ දී තමිල්නාඩු දේශපාලඥයන් විසින් දැඩි විරෝධයක් ද එල්ල වෙමින් පවතින්නේ ද එම බලපෑම නිසාවෙනි. ඉන්දියානු ආණ්ඩුවේ ඇතැම් බලවේග රණවක ඇමතිවරයා ඉවත් කීරීමට තරම දුරදිග යන තරමට ආණ්ඩුවට බලපෑම් එල්ල කරමින් ඇත.
මේ අතර චම්පික රණවක අමාත්‍යවරයා ජන මාධ්‍යට ප්‍රකාශ කොට ඇත්තේ පකිස්ථානය හා එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ න්‍යෂ්ඨික බලාගාරයක් සෑදීමට කිසිදු අදහසක් නොමැති බවත් ඒ පිළිබඳව පළවූ ඉන්දීය මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බවත් ය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











