Lanka News Web

දයාසිරිට ඇමතිකමක් දෙන්නේ නෑ - ජනපති කියයි

Share

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුවට එක්වන නමුත් ඔහුට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදෙන බව ජනාධිපතිවරයා ශ්‍රිලනිප මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා ඇත.

 

තමා යටතේ පවතින මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය දයාසිරි මන්ත්‍රීවරයා බලා පොරොත්තුව සිටින බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

කෙසේ වුව ද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ කිසිදු තනතුරක් නොමැතිව වුව ද ඉදිරි දින කිහිපය තුල දී දයාසිරි මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වන බවයි. ඉදිරියේ දී පැවැත්වෙන වයඹ පළාත් සභා මැතිවරණයේ දී තමාට සන්ධානයේ මහ ඇමති අපේක්ෂක ධූරය ලබා දෙන බවට ජනාධිපතිවරයා තමාට පොරොන්දු වී ඇති බව දයාසිරි මන්ත්‍රීවරයා ඔහුගේ සමීපතම හිතවතුන් පිරිසකට පවසා තිබේ.

තව ද කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මියට ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුවට එක්වන ලෙස දයාසිරි මන්ත්‍රීවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ නමුත් තමා එය ප්‍රතික්ෂේප කළ බවයි.

මෙම කාරණා සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැන ගැනීමට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප කිහිප විටක් උත්සාහ කළ ද එම වෑයම අසාර්ථක විය.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 01 වෙනි බදාදා, 11:53