Lanka News Web

නිලූකගේ ජය ගැන සතුටුයි - තිලිනි ජයසිංහ

Share

ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේ පිට පිටම දින දෙකක් තරඟවලින් පරාජය වීම ගැන කනගාටුවන නමුත්, කණ්ඩායමේ නායක නිලූක කරුණාරත්නගේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිලිනි ජයසිංහ පවසන්නීය.

ජගත් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අංක අට ස්ථානය දරන ජපන් ජාතික කෙනිචි තාගෝ පරාජය කරමින් නිලූක කරුණාරත්න ජයග්‍රහණය හිමිකරගත් අතර ඉරිදා සහ සඳුදා දිනවල පැවති තරඟවලින් පරාජය වීමෙන් අනතුරුව තිලිනි ජයසිංහට ශූරතාවලියෙන් ඉවත්ව යාමට සිදුවිය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ඔලිම්පික් ශූරතාවලියකදී ජයග්‍රහණයක් අත්කරගත් ප්‍රථම වතාව කණ්ඩායම් නායකගේ ජයග්‍රහණයයි.

දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව හතලිස් හත් වැනි ස්ථානය දරන නිලූක මේ ජයග්‍රහණයත් සමඟම ඔලිම්පික් උළෙලේ දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයන් දහසය දෙනා දෙනා අතරට තේරී පත්වී සිටී.

"ඇත්තටම නිලූකගේ ජයග්‍රහණය පොදුවේ බැඩ්මින්ටන් වලට ලොකු ජයග්‍රහණයක් විදියට තමයි මම නම් දකින්නේ. මොකද ලංකාවේ හැමෝම කථාකරන්නේ ක්‍රිකට් ගැන අනික නිලූක අද එච්චරම ලේසි මැච් එකක් නෙවෙයි එයා දිනුවේ," බව පවසන තිලිනි ඉදිරි තරඟයෙනුත් ජයග්‍රහණය ලබා ඔලිම්පික් පදක්කමක් දිනීමට ඔහුට අවස්ථාව ලැබෙනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බව ද බීබීසී සංදේශයට පැවසුවාය.

එය අනුමත කරන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ බැඩ්මින්ටන් පිල භාර කළමනාකරු රොහාන් ද අල්විස් විශේෂයෙන්ම සඳහන් කළේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ලෝක මට්ටමට ළඟාවීම සඳහා දැනට වඩා අනුග්‍රහය ලබා දීමේ අවශ්‍යතාවයයි.

"අපිට පුළුවන් තරම් අනිත් සමාගම් සහ ආයතන උදවු කරනවා නම් අපේ ළමයින්ට මේක අපිට ලෝක මට්ටමට ගෙන්න පුළුවන් ක්‍රීඩාවක් කියල මට කියන්න පුළුවන්," බව ඔහු පවසයි.

ඉන්දීය බැඩ්මින්ටන් ශූරයා සහ වියට්නාම් බැඩ්මින්ටන් ශූරයා අතර පැවැත්වෙන තරඟයෙන් ජයග්‍රහණය ලබන ක්‍රීඩකයා සමඟයි, නිලූක ලබන අගෝස්තු පළවෙනිදා තරඟ වැදීමට නියමිතව තිබෙන්නේ.

"නිලූකට ලොකු අවස්ථාවක් තියෙනවා එයාගේ සෙල්ලම් කරන විදිය නිසා. එයා හරිම උනන්දුවෙන් හොඳට පුහුණුවෙලා තියෙනවා. මම විශ්වාස කරනවා එයාට දිනන්න පුළුවන් කියල ඒ දෙන්නගෙන් කවුරු ආවත්," බවයි, කණ්ඩායමේ කළමනාකරු රොහාන් ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ.

සඳුදා පැවති පළමු තරඟයෙන් පරාජය වුවත් කණ්ඩායම තවමත් මංගල සමරකෝන්ගේ දෙවැනි තරඟය කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙන බව කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකාරක නිශාන්ත පියසේන මේ අතර සංදේශයට කියා සිටියේය.

උළෙලේ දෙවැනි දිනය වූ ඉරිදා සිය පළමු තරඟයට සහභාගි වූ ක්‍රිෂාන් උනම්බුව විනාඩි 57.84 කින් තරඟය නිමාකරමින් දෙවැනි ස්ථානයට තේරී පත් වූ නමුත් දෙවැනි වටයට සුදුසුකම් නොලැබීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්ව ගියේය.

තමා සහ උනම්බුවට ආරම්භයේදීම තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුවත් රේශික උඩුගම්පොල, මංගල සමරකෝන් ඇතුළු තරුණ ක්‍රීඩක පරපුරට මේ තරඟාවලිය අනාගතය වෙනුවෙන් අත්දැකීම් සම්භාරයක් රැස්කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් බවයි, තිලිනි ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

- BBC Sinhala

Share

AddThis Social Bookmark Button