Lanka News Web

වෙබ් අඩවි ආක්‍රමණය කිරීමට ගෝඨාගේ සූදානමක්

Share

මේ වන විට රජයට මහත් හිසරදයක් ව පවතින විදේශයන්හි සිට ක්‍රියාත්මක කරන වෙබ් අඩවි කුමන්ත්‍රණ කාරී ලෙස ආක්‍රමණය කිරීමේ සූදානමක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සිදු වෙමින් පවතින බව ඉතා විශ්වාස කටයුතු දායක ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩ පිළිවෙලින් සිදු කිරීමට අදහස් කරන්නේ විදේශයන්හි සිට ක්‍රියාත්මක කරන වෙබ් අඩවිවල URL ලිපිනයන්ට සමාන ලිපිනයන් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කොට ශ්‍රී ලංකාවේ සිට එම වෙබ් අඩවිවලට පිවිසෙන පාඨකයින් එම ඩුප්ලිකේට් වෙබ් අඩවි වෙත ගෙන්වා ගැනීම ‍මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

මේ වන විට චීන රජය මගින් ඉතා සාර්ථක ලෙස අත්හදා බලා ඇති මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මගින් චීන ජාතික පරිඝණක තාක්ෂණ ශිල්පීන් 12 දෙනෙකු ගෙන්වා ගෙන තිබේ. ඔවුන් මේ වන විට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත ඩුප්ලිකේට් URL ලිපිනයන් නිර්මාණය කරමින් සිටින බව දැඩි වගකීමකින් යුතුව වාර්තා කළ හැක.

නමුත් මේ වන විට මෙම ව්‍යාපෘතිය සම්බන්ධ පාර්ශවයන් අතර මත ගැටුමක් ඇති වී ඇත්තේ මෙම ප්‍රෝඩාකාරී ක්‍රියා මගින් කිසිදු ඵලයක් අත් නොවනු ඇති බවත්, එය දේශීය වශයෙන් ක්‍රියාත්මක කළ හැකි වුව ද ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කළ නොහැක්කේ face book, twitter වැනි අන්තර් ජාතික සමාජ ජාලයන් හරහා මේ වන විට තහනම් වෙබ් අඩවිවල පලවන පුවත් එසැනින්ම සංසරණය වන නිසාවෙනි. මෙම සමස්ථ ව්‍යාපෘතියම තවත් සුදු අලියෙකුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව මේ පිළිබදව අප වෙත තොරතුරු ලබා දුන් පුද්ගලයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.

Share

AddThis Social Bookmark Button