Lanka News Web

මන්නාරම් මහේස්ත‍්‍රාත්වරයාගේ දෙමාපියන්ගේ නිවසට ප්‍රහාරයක්; අවට පොලිස් මුරපොල 2 ක් හමුදා මුරපොලක්

Share

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් තර්ජනය කරන ලද මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාගේ බිරිඳගේ දෙමව්පියන්ට අයත් නිවසකට (28) රාත්‍රි 12ට පමණ නාඳුනන පිරිසක් විසින් ගල් ගසා ඇතැයි වාර්තා වේ.

මන්නාරම රෝහල පාරේ පිහිටා ඇති මෙම නිවසට එක් පසකින් මීටර් 250 ක් දුරින් මන්නාරම් පොලීසිය පිහිටා තිබෙන අතර අනෙක් පසින් මීටර් 100 ක් දුරින් හමුදා මුර පොලක් පිහිටා තිබේ. ඊට අමතර රෝහල ආසන්නයේද පොලිස් මුරපොලක් පිහිටා තිබේ. එසේ දැඩි රැකවල් සහිත ප්‍රදේශයක් තුළ මෙම ප්‍රහාරය එල්ල වීම විමතියටක කරුණක් බව යුක්තියට අදහස් දැක්වූ නීතිඥයෙක් ප්‍රකාශකර සිටියේය.

මන්නාරම් අධිකරණය පහරදීමේ නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ ඥාතීන්ට, හිතවතුන් ආදී කිසිවෙකුට තර්ජනය කිරීම් හෝ බලපෑම් කිරීම් නොකළ යුතු බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අධිකරණය විසින් නියෝගයක්ද මීට පෙර ලබාදී තිබුණි.

මෙම ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රථයකට දැඩි හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

ගැටුමේ සුල මුළ සෙවීමට හකීම් මන්නාරමට යයි

නීතියේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා රජය මැදිහත්වී නිසියාකාරව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කරයි. මන්නාරමේ, උප්පුකුලම ධීවර ගම්මානයක මුස්ලිම් හා දෙමළ වැසියන් අතර හට ගෙන ඇති ගැටුම සම්බන්ධයෙන් තමා අද සෙනසුරාදා මුස්ලිම් ධීවරයින් හමුවී සාකච්ජා පැවැත්වූ බව ඇමතිවරයා පැවසුවේය

ඊට සම්බන්ධ දෙමළ වැසියන් මුණ ගැසීමට නොහැකි වූ බව කී ඇමතිවරයා පැවසුවේ ප්‍රදේශයේ දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සාකච්ජා කොට එම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම තම අපේක්ෂාව බවයි.

උතුරේ නීතිඥයෝ දැඩි කනස්සලට

මන්නාරමට පැමිණි ඇමතිවරයා අර්බුදයකට තුඩු දී ඇති මන්නාරම අධිකරණය පිළිබඳ ප්‍රශ්නය ගැන සාකච්ජා කිරීම සඳහා තමන් හමුවීමට නොපැමිණීම ගැන උතුරේ නීතිඥයෝ දැඩි කනස්සලට පත්ව සිටිති.

ඇමතිවරයා පැවසුවේ තමා උප්පුකුලම ධීවර ගම්මානයේ හටගෙන ඇති නොසන්සුන්තාව පිළිබඳව ගම්වාසීන් හමුවී එහි සුල මුළ පිළිබඳව නිසි තොරතුරු දැනගැනීම පිණිස මන්නාරමට පැමිණි බවයි.

අධිකරණයේ ප්‍රශ්නය මුල් කොට ගෙන උතුරේ අධිකරණවල නීතිඥවරුන් ආරම්භ කොට ඇති උසාවි වර්ජනය ගැන හෝ අමාත්‍ය රිසාත් බදීයුදීන් ට එල්ලවී ඇති චෝදනාව පිළිබඳව පිළිතුරු දීමෙන් වැලකී සිටි ඔහු පැවසුවේ අමාත්‍යවරයා ලෙස ඒ ගැන ප්‍රකාශයක් කිරීම සුදුසු නොවන බවයි.

කෙසේවෙතත්, උතුරේ නීතිඥයන් විසින් ආරම්භ කොට ඇති උසාවි වර්ජනය ලබන සදුදා සිට තවදුරටත් දීර්ග කරන්නේද නැද්ද යන්න වග උතුරේ නීතිඥ සංගම් අද සෙනසුරාදා සවස් වන තුරුත් කිසිවක් ප්‍රකශ නොකළහ.

- yukthiya.com

Share

AddThis Social Bookmark Button