| Share |
වව්නියාවේ බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් විසින් දියත්කරන ලද විරෝධතාවය ආරක්ෂක අංශ සහ බන්ධනාගාර නිළධාරීන් විසින් සිදුකරන ලද පහර දීමෙන් මියගිය ගනේෂන් නිමලරුබන් ගේ අවසන් කටයුතු ඊයේ නෙලුකුලම සුසාන භූමියේදී සිදු කෙරුනි.
දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ, මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ, සිවිල් ක්‍රියාකාරීහු මෙන්න ජනමාධ්‍යවේදීහු පිරිසක්ද එම මොහොතට සහභාගී වූහ. දකුණේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කිසිවක දේශපාලන නියෝජිතයන් කිසිවකු මෙම අවමංගල අවස්ථාවට සහභාගී නොවුනි.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පෙන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ ශ්‍රී ධරන්, සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, සිවාජිලිංගම්, සෙල්වම් අඩිකලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මනෝ ගනේෂන්, සිරිතුංග ජයසුරි ද එම අවස්ථාවට සහභාගී විය.
අනතුරැව ඔවුන් සියල්ලගේ සහභාගීත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් වව්නියාව තායි හෝටලයේදී පැවැත්වුණි.

පොලීසිය සහ හමුදාව අවමගුල වටලයි
පොලීසියේ සහ හමුදාවේ 500 කට අධික කණ්ඩායමක් නිමලරුබන්ගේ නිවස අවට සහ සුසාන භූමිය අවට රැඳී සිටින දක්නට ලැබුණි මෙම ජායාරඋපයෙන් පෙනෙන්නේ එලෙස මුලකාවල් වූ පොලිසිය යි. විශේෂයෙන්ම ඔවුන් එලෙස වටලා සිටීම රජයේ ආරක්ෂක අංශ විසින් ඝාතනය කරනු ලැබූ එම දේශපාලන රැදෙවියාගේ අවසන් කටයුතු සිදුකිරීමට විශාල බාධාවක් වුණි. ගිණි අවි ඇතැතිව,බැටන් පොලු අතැතිව ඔවුන් රැකවල්ලා සිටියේ නීති විරෝධී කටයුත්තක් එම ස්ථානයේ සිදුවන්නාක් මෙනි.
ඊට අමතරව ඔහුගේ අවමංගලය කටයුතු සිදුකරන ස්ථානයෙහි විශාල වශයෙන් හමුදා බුද්ධි අංශ පිරිස් ගැවසෙනුද පැමිණ සිටි පිරිස් කවුරුන්ද යන්න විඩියෝ ගතකරනු ද දැකගත හැකිවිය.

මරණ දැන්වීමත් හමුදාව ඉරාදමයි
මෙම ජායාරෑපයෙන් පෙනෙන පරිදි නිමලරුබන්ගේ අවසන්කටයුතු වෙනුවෙන් අලවා තිබූ සියලුම මරණ දැන්වීම හමුදාව විසින් ප්‍රසිද්ධියේ ඉරාදමා ඇත. එපමණක් නොව ඊයේ උදෑසන පැමිණි හමුදාව දේහය සහිත නිවස විශේෂ පරීක්ෂාකටද භාජනය කරන ලදී. එහිදී ගෙය ඉදිරිපිට අලවා තිබූ මරණ දැන්වීම ඔවුන් විසින් ඉරා දමන ලදී.
සහෝදරියට තර්ජන කරයි
නිමලරුබන්ගේ ඥාතී සහෝදරිය වෙත නිර්නාමික දුරකථන ඇමතුම් මගින් අවමංගලය කටයුතු සඳහා දේශපාලන පක්ෂ,සිවිල් කණ්ඩායම් සහභාගී කර නොගන්නා ලෙස තර්ජන කළ බව පවසා සිටියාය. ඊට අමතරව කිසිදු කථාවක්, අවමංගල්‍ය සභාවක් නොපවත්වන ලෙසද නියෝගකර තිබුණි.
නිමලරුබන් ඝාතකයන්ට දඩුවම් දිය යුතුයි
නිමලරුබන් ඝාතනය කිරීම පිළිබඳ සහ දේශපාලන සිරකරුවන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (24) වව්නියාව තායි හෝටලයේදී පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ සියලු දේශපාලන පක්ෂ නියෝජතයන් ප්‍රකාශ කර සිටියේ නිමලරුබන් ඝාතනයේ වගකීම රාජපක්ෂ රජය විසින් ගතයුතු බවත්, ඔහු ඝාතනය කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආයුතු බවත්ය.
Audio : ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්
Audio : සිරිතුංග ජයසූරිය

අම්මාගේ කඳුළු අවිය
ඝාතනය කළ තමගේ එකම දරුවා වෙනුවෙන් විටෙක හඩා වැලපෙමින්ද තවත් විටෙක් ඉතා වේගවත් වාග් ප්‍රහාරයන්ගෙන් ඒ අම්මා සියල්ලෝ අභිමුවේ පවසා සිටියේ මගේ පුත්‍රයා අධිකරණයකින් වරදකරුවකු නෙවෙයි. ඔහුගේ චෝදනා සියල්ල නිශ්ප්‍රභා වුනා. ඔහුට මේ කළ අපරාධයට එරෙහිව මගේ අත පය හයිය තිබෙනකම් ක්‍රියාකරනවා යනුවෙනි.

උතුරු වසන්තය
ඉහත පෙනෙන නිමලරුබන්ගේ නිවසේ ස්වරුපයෙන් උතුරු වසන්තය දෙමළ ජනතාවට අත්කරදී ඇති තත්ත්වය වටහා ගැනීමට අපහසු නෙවේ. අධික දූගීභාවයෙන් මිරිකී ජීවත්වන ඔවුන්ට නැවත නැවතත් දකුණේ රජයයන් උරුමකර දී ඇත්තේ අහිමි වීම් පමණි.
අවසානයේ වන්නි අහසේ අවරගිරින් මළහිරු මලානිකව බැසයද්දී තවත් මවකගේ සහ පියෙකුගේ පුත්‍රයෙකු රතු පොළව මතු සැඟවුණි. රාජේෂවරී මාතාවගේ උද්වේගකර හැඬුම පියාගේ නිහඬ බව කියා පෑවේ සියල්ල අහිමිවීමේ විප්‍රයෝගයයි.
- 2.yukthiya.com
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












