Lanka News Web

කුස පබා විවේචනය කළ “ චිත්‍රපට ’’ සඟරාවට තහනමක්!

Share

කුස පබා චිත්‍රපටය පිළිබඳව වූ විචාර ලිපියක් හේතුවෙන් “චිත්‍රපට’’ සඟරාව බෙදා හැරීම හදිසියේ අවලංඟු කර තිබේ. මෙම චිත්‍රපට සඟරාව ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශනයකි. එසේ බෙදා හරිනු නොලැබූ චිත්‍රපට සඟරාවේ පිටපත් විශාල ප්‍රමාණයක් මේ වන විට සංස්ථා පරිශ්‍රයේ කාමරයක සඟවා තිබේ.

 

මෙ‍‍සේ බෙදා හැරීම අත් හිටුවා ඇත්තේ 2012 වසරේ ප්‍රකාශයට පත් කළ පළමුවන “චිත්‍රපට’’ සඟරාවයි. එම චිත්‍රපට සඟරාව පිළිබඳ පසුගිය දා විශාල ප්‍රචාරයක් ලබා දෙමින් වෙළද පොලට නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණ.

නමුත් හදිසියේම එය තහනම් කිරීමට හේතු වී ඇත්තේ කුස පබා චිත්‍රපටය පිළිබඳව වූ විචාරාත්මක ලිපියක් හේතුවෙන් බව සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. රංජිත් පෙරේරා නම් ලේඛකයෙකු විසින් සකසා ඇති එම ලිපිය මගින් කුස පබා චිත්‍රපටය හා රාජපක්ෂ පාලන තන්ත්‍රය දැඩි විවේචනයට හසුකර තිබීම මෙම තහනමට හේතු වී තිබේ.

‘‘ප්‍රේක්ෂක ජන රාශිය ගොඩ නගා ඇත්තේ රාජ්‍ය අනුග්‍රහය ප්‍රකට ලෙස අමු අමුවේ යොදා ගෙන නොවේද? මෙලෙස ප්‍රේක්ෂක ජන රාශිය ගොඩ නගන මේ නඩය අද රට පාලනය කරන දේශපාලන - මිලිටරි සංකීර්ණයට ලඟ නෑ කම් කියන අය නොවේද? චිත්‍රපට බෙදා හැරීම සිදු කරන දිවයිනේ තියෙන සියළුම ප්‍රදර්ශන මණ්ඩලවලට අයත් සිනමා ශාලා තෝරාගෙන ඒවා ඔස්සේ දැවැන්ත ප්‍රචාරන යාන්ත්‍රණයක සහාය ඇතිව ස්වකීය නිශ්පාදන බෙදා හැරීමට තරම් හැකියාවක් මේ නඩයට ඇත්තේ ඔවුන් දේශපාලන - මිලිටරි සංකීර්ණයකට කෙලින්ම බද්ධ නිශ්පාදන කණ්ඩායමක් නිසා නොවේද?’’ආදි ලෙස රචකයා සිය ලිපියෙන් දක්වා ඇති කරුණු හේතුවෙන් චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානියාට ඉහළින් ලැබුණු අණ පරිදි සඟරාව බෙදා හැරීම නවතා සඟවා ඇත.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 24 වෙනි අඟහරුවාදා, 09:32