| Share |
හිටපු ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජෙනරාල් නිලය සහ එයට හිමි වරප්‍රසාද අහිමි කරමින් ලබා දුන් පළමු යුද්ධාධිකරණ තීන්දුව ජනාධිපති සමාවක් මගින් අහෝසි කර ගැනීමට ජෙනරාල්ගේ පාර්ශවය සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡා අසාර්ථක වී ඇතැයි වාර්තා වේ.
විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරන අන්දමට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට යලිත් ජෙනරාල් නිලය සහ එයට හිමි වරප්‍රසාද ලබා දීමට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා දිගින් දිගටම විරෝධය පළකරමින් සිටී. වෙනත් කිසිම දඬුවමක් මගින් සරත් ෆොන්සේකා මහතාට පාඩමක් ඉගැන්වීමට නොහැකි බවත් ඔහුට රිදවිය හැකි එකම ක්‍රමය ෆොන්සේකා මහතා ඉතා ගෞරවාන්විතව සලකන ජෙනරාල් නිලය සහ නාවල කිරිමණ්ඩල මාවතේ ඉඩම අහිමි කිරීම බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මීට පෙර ජනාධිපතිවරයා ටිරාන් අලස් මන්ත්‍රීවරයාට ප්‍රකාශකර සිටියේ පළමුවෙනි යුධාධිකරණ තීන්දුවට ජනාධිපති සමාවක් ලබා දීමට නොහැකි බව ය. පළමු යුධාධිකරණ තීන්දුවට ජනාධිපති සමාව ලබා ගැනීමේ සාකච්ඡා බිද වැටීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් ජෙනරාල්වරයාට ඉතිරිව ඇති විකල්පය එම තීන්දුව අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනා පෙත්සම පමණි.
අදාල පෙත්සම පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට ප්‍රකාශ කලේ පෙත්සම විභාගයට ගත යුතු බවයි. ජෙනරාල් ෆොන්සේකාට ජනාධිපති සමාව ලැබීමත් සමග හයිකෝප් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම කළ දෙවන යුද්ධාධිකරණයට එරෙහි අභියාචනා පෙත්සම ද, සුදු කොඩි තීන්දුවට එරෙහි අභියාචනා පෙත්සමද ඉල්ලා අස්කර ගැණුනු නමුත් පළමු යුධාධිකරණයට එරෙහි අභියාචනා පෙත්සම ඉවත් කර නොගෙන තිබිණ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











