| Share |
අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ශ්‍රී ලංකා මිරර් සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවි මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට දන්වා සිටියේ ඉහත වෙබ් අඩවි කාර්යාලයේ සිට අත් අඩංගුවට ගත් පරිඝනක යන්ත්‍රයන් තුළ තිබී අසභ්‍ය අශ්ශීලී ද්‍රව්‍ය සොයා ගත් බවයි.
පසුගිය වතාවේ මෙම නඩුව කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටියේ මෙම වෙබ් අඩවි දෙක සහ එහි මාධ්‍යවේදීන් “ජනාධිපතිවරයාගේ රාජකීය මහිමයට හානි දායක වන අයුරින් රාජ්‍ය විරෝධී කටයුතු සඳහා ක්‍රියා කර ඇති බවයි. ’’ නමුත් අද දින අධිකරණය හමුවේ වැඩි දුර වාර්තා ගොනු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කලින් දින චෝදනාවන්ට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයට මෙම චෝදනාව ගොනු කරන ලදී.
ශ්‍රී ලංකා මිරර් සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් මාධ්‍යවේදීන් තමන්ව අත්අඩංගුවට ගැනීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පසු ගිය සතියේ ශ්‍රි ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් පෙත්සම් ගොනු කිරීම නිසා දැඩි අපහසුතාවයටත් භීතියටත් පත්වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සාධාරණීකරනය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටී.
මෙහි එක් ප්‍රතිඵලයක් වශයෙන් මෙම අභූත චෝදනාව ඉදිරිපත් කර ඇති බවත් මෙම ලිංගික ක්‍රියාකාරකම් නැරඹීමෙන් ජනාධිපතිවරයාගේ රාජකීය මහිමය පළුදු කොට ඇත්තේ කවරාකාරයෙන් දැයි ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සිදු වනු ඇතැයි මෙම මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින ජේෂ්ඨ නීතිඥවරයෙකු අප හා පැවසීය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











