Lanka News Web

පා පැකිලෙන ගල් සහ කලූ ජූලිය - රංජිත් හේනායකආරච්චි.

Share

ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුනගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි.

සිමින්ති ගඩොලින් සම මට්ටමකට තනා තිබූ පදික ෙවිදිකාවේ මගේ පය පැකිලී තිබුණේ පිත්තල පාටින් දිලිසෙන අගල් 6ක හරි හතරැස් ගඩොලකයි. එම ගඩොල අනෙක් ගඩොල් වලට වඩා පැහැයෙන් වෙනස් වූවා මෙන්ම උසින්ද වෙනස් විය. අනෙක් ගල්වලට දසම ගනනක් උඩට මතුවන සේ වූ පිත්තල පැහැයෙන් දිලිසෙන එම ගඩොල මගේ දෑසට එක වරම හසු විය. එම ගල මත යමක් ලියා ඇති බව පෙනුන හෙයින් මම ලන්වී බැලූවෙමි. , මෙහි ජීවත් වූයේ මර්තා කවුෆ්මාන්. ඉපදුනේ 1881 බර්ලින් පන්කෝ හිදීය. 1940 දී බුහන්වල්ඩ් වදකාගාරයට යවනු ලැබීය.,

 

එය දුටු විගසම මට මතකයට නැගුනේ 1995 දී ජර්මන් කලාකරුවෙකු විසින් ආරම්භ කළ,පා පැකිලෙන ගල්,"(Stolpe Stein)- කි්‍රියාදාමයයි. නාසි ජර්මනියේ වර්ගවාදී මිනිස් සංහාරය සදා මතකය තුළ පැවැත්වීමට එසේත් නැතිනම් ඒ කුරිරු යුගයේ මතකය අමතක නොවීමට කලාකරුවෙකු ලෙස ගුන්ටර් ඩේම්නිග් (Gunter Demnig) ආරම්භ කළ වැඩසටහනකි මෙය. ජර්මනියේ ගම්, නගර 500කින් අරබන මෙම ක්‍රියාදාමය අද වන විට යුරෝපය පුරාම විවිධ රටවල ව්‍යාප්ත කර ඇත. නාසි ආධිපත්‍ය යටතේ යුරෝපයේ රටවල යුදෙව්වන් සහ දේශපාලන විරුද්ධ මතදාරීන් වදකාගාරවලට ගාල් කරනු ලැබූ හෝ ගෑස් කාමර තුළ මරාදමනු ලැබීය. එසේ නාසීන් විසින් ගෙන ගිය මිනිසුන් ජීවත් වූ පැරනි නිවාස ඉදිරිපස පාරේ ,මතක ගල්,,පා පැකිලෙන ගල්,ලෙසින් තැන්පත් කෙරේ. පා පැකුලූනු විට හැරී බලන අය දිලිසෙන ගලේ ලියා ඇති නම, ගම, උපන්දිනය, රැගෙන ගිය දිනය, සහ මරා දැමූ දිනය ආදිය දකී. පා පැකිලෙන ගල් ඒ කුරිරු යුගය නැවත නැවත මතකයට ගෙන එනු ලබන අතර ඒ තුලින් නැවත එවැන්නක් සිදු වීමට ඇති හැකියාවද වැලකීමට සංඥාවක් දෙනු ලබයි.

මේ ජූලි උදෑසන පා පැකිලීම මගේ මතකය එකවර අතීතයට ගෙන ගියේය. එවකට මා ජීවත් වඋයේ ජර්මනියේ මියුනික් නගරයේයි. 83 කලූ ජූලිය ජර්මනියේ රූපවාහිනී සහ පුවත්පත් වලට ප්‍රවෘත්තියක් රැගෙන ආවේය. ඇත්තටම එකල ලංකාව ගැන ප්‍රවෘත්තියක් ජර්මන් මාධ්‍යට ආවේ නැති තරම් යුගයකි. ජර්මානුවන් වැඩි දෙනෙකු ලංකාව කොහේ ඇති රටක්ද කියාවත් එකල දැන සිටියේ නැති තරම්ය. දැන සිටි අය දැන සිටයේද ලස්සන ,නිවාඩු, දූපතක් ලෙසිනි. නමුත් කොළඹ නගරයේ කඩසාප්පු ගිනිගන්නා අයුරු මැර කණ්ඩායම් කඩසාප්පු කොල්ල කන අයුරු ප්‍රවෘත්තියක් විය. ඇත්තටම එවකට පිට ජීවත් වූ ලාංකිකයන් ටික දෙනා ද එදෙස බලා සිටියේ විස්මිත දෑසිනි.

කලූ ජූලියේ ප්‍රතිපල රට තුල සරනාගතයන් ලක්ෂ ගනනක් ඇති කළා මෙන්ම රටින් පිටතද දහස් ගනනින් සරනාගතයින් විසුරුවා හරිනු ලැබීය. තම මව් බිමේ ආත්මගරුත්වයක් ඇතිව ජීවත් වීමට ඇති අයිතිය අහිමි වූ දමිළ මිනිසුන් මනුෂ්‍යයෙකු ලෙස තමනට ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත් වීමට ඉඩ සොයමින් ලෝකය පුරා සරනාගතයන් ලෙස සංක්‍රමනය වීම ඇරඹුනි. මේසේ ජර්මනියට පැමින දේශපාලන රැකවරනය ඉල්ලු ලාංකික දමිළ තරුණයන්ගෙන් 500 පමණ මා එවකට ජීවත් වූ මියුනික් නගරයට ද ගෙන එනු ලැබීය. මෙම ජූලි උදෑසන ,පා පැකිලෙන ගල්,මගේ මතකය රැගෙන ගියේ එදා එම සරනාගතයන් සමඟ පැමින එහිදී මට මුන ගැසුනු මගේ මිතුරෙකු බවට පත්වූ අයෙකු කළ විස්තරයක් වෙතයි.

රාජ් එවකට ලාබාල තරුණයෙකු වූ අතර දේශපාලන රැකවරනය පතා පැමිණිමට හේතු වී තිබුණේ ඔවුන්ගේ ජීවිත වලට ඇති වූ අවදානමයි. රාගම පෙදෙසේ හැදී වැඩී තිබූ රාජ්ට සිංහල දමිළ භාෂා දෙකම චතුර ලෙස භාවිතා කිරීමේ හැකියාව තිබුනි. තවත් එහි පැමැන සිටි දමිළ තරුණයන්ට සිංහල භාෂාව කථා කළ හැකි වූවත් රාජ්ට භාෂා දෙකම හොඳින් හැසිරවිය හැකි වීම එක්තරා විශේෂත්වයකි. ලාබාල තරුණ වියේ පසුවූ ඔහුගේ සිංහල බස පිළිබඳ තිබූ දැනුම නොව ඔහුගේ නිහතමානි ගුණයන් නිසාම අප අතර ඉතා ඉක්මන් මිතුරු බැඳීමක් ඇති කරනු ලැබීය. පා පැකිලෙන ගලක පය ගැටීමෙන් මගේ මතකයට නැගුනේ රාජ් එදා මා සමග පැවසූ සිදු වීමකි.

එවකට එනම් 83 කලූ ජූලිය ඇති වන විට රාජ් දිනපතා දුම්රියෙන් කොළඹ පැමින පිටකොටුවේ තම ඥාතියෙකුට හිමි විදුලි උපකරන වෙළඳසලක රැකියාවේ නියුතු විය. 83 ජූලි 23 වැනි දිනද ඔහු සුපුරුසු ලෙස සාප්පුවට පැමින තම කාරියේ නියුතු විය. මේ වන විට රාජ්ට තමා දමිළද, සිංහලද, යන්න ගැන පැනයක් නැගී නොතිබුණේ භාෂා දෙකම කථා කරමින් සිංහල, දමිළ මිතුරන් මිතුරියන් මෙන්ම ඥාතීන්ද ආශිතව ජීවත් වූ හෙයිනි.

මේ වන විට කළු ජූලිය ආරම්භ වී තිබුනි. දමිළ වීමේ වරදට මිනිසුන් පන පිටින් ගින්නට දමමින් ඔවුන්ගේ දේපල කොල්ල කමින් ගිනිබත් කරමින් ලංකාවේ අගනගරය තුළ වර්ගවාදයේ, ම්ලේච්ඡත්වයේ ස්වභාවය ලොවට පෙන්වමින් ,සිංහල බෞද්ධ, සදාචාරය ලොවට හ~ගා කිවීම අරඹා තිබුනි. රාජ්ගේ වෙළඳ සැලට ගිනි තබන විට ගින්නට හසු නොවී ඔහු එලියට පැන ගත්තේ ඔහුගේ චතුර සිංහල හැසිරවීමේ ආනුභාවයට පින් සිදු වන්නටය. යන්තම් එතැනින් දිවිගලවා ගෙන මගට බට රාජ් පාරවල් පුරා දෝරෙගලන සිංහල උන්මාදයේ මත්වූ ජනගඟට එක් වූ හැටි විස්තර කරනු ලැබුනි.

බැලු බැලු අත කඩ සාප්පු ගිනි ගනී. මහ මඟ කාර් එකක ගිනි ගන්නා දමිළ පවුලකි ,ආඩවනේ, කියමින් පන බේරා ගැනීමට යදිමින් දුවන මහලූ දමිළ මිනිසෙකු හබායන පොලූ මුගුරු ගත් මැරවරයින් වෙරි මත පරදවමින් මතු වන සිංහල ජාතාවාදී වෛරය, සිංහල ,සභ්‍යත්වය,මතු කරවන දුඟද හමන වාග්මාලාව සියල්ල රාජ්ට ඉවසන්නට සිදු වූවා පමණක් නොව තම දිවිය රැක ගැනීමට තමන්ද මේ ,සිංහල, එකකුමයයි රගපෑමටද සිදු විය.

දමිළ ලෙයින් ,සිංහල බෞද්ධ, පුදසුන සේදීමට හැර වෙන යමක් තම කැකෑරෙන වෛරය තුළ නොමැති බව මේ කණ්ඩායම් තම නින්දිත හැසිරීමෙන් සහ ක්‍රියාවන්ගෙන් පැහැදිලි කරනු ලැබීය. තම ජාතියේ ආගමේ නාමයෙන් අනෙක් ජන කොටස් මරා දමමින් ඔවුන්ගේ දේපල මංකොල්ල කමින් ස්ත්‍රීන්ට බලහත්කාරකම් කරමින් මේ කරන මහා අපරාධ තම දෑසින් දකිමින් රාජ් තම දිවි ගලවාගෙන ගෙදරට යාමට උත්සහයක යෙදුනි. තම හැදුනුම්පත විසිකර දැමූ පසු රාජ් ,සිංහලයෙකි,. නමුත් ඔහු තුළ ජීවත් වන දමිළ මනුෂ්‍ය ආත්මය ඉකි ගැසුවේ හ~මතු නොවන අයුරිනි. තම මිතුරන් හිතවතුන් ප්‍රසිද්ධියේ මරා දමන හැටි දකින ඔහුගේ ආත්මය වේදනාවෙන් මිරිකුනි. තමාගේ ජීවිතය බේරා ගැනීමට ඔහුට සිදු වූයේ අර හ~තලන වහසිබස් දොඩන ,වර්ග වියරුෙවි, කාලකන්නි හ~ තලන්නන් අතරට මුසු වීම සහ ඔවුන් අනුකරනය කිරීමයි.

මා දන්නා තරමින් රාජ් තද ආගම් භක්තියක් ඇති අයෙකු නොවේ. ඒත් ඔහු තුළද තමා කුඩා දා සිට හැදුනු වැඩුනු ආගම පිලිබඳ ගෞරවයක් තිබේ. ඔහු එක්වී ගමන් කරමින් සිටි ,සිංහල, කණ්ඩායම කෝවිලකට ගල් ගසමින් එය කඩා බිඳ ගිනිබත් කරන විට රාජ්ද ඔවුන් අතර අතින් ගලක් ගෙන සිටියේ දෑස තුළ පිරි වේදනාවෙනි. මැර කල්ලිය වෛරයෙන් ගිනිගත් දෑස් වලින් කොවිලට ගල් ගසද්දී රාජ් අතවු ගල් එදෙසට විසි කිරීමට ඔයුගේ වැලපෙන ආත්මය ඉඩ ලබා නොදුනි.දෑසේ කදුළු වසා ගැනීම\ අපහසු විය. මේ සිද්ධිය මා සමඟ විස්තර කරන රාජ්ගේ දෑස වේදනාවෙන් නලියන අයුරු මම දුටුවෙමි. ඒ මොහොතේද ඔහුගේ දෑස තෙත් වුනි. ඒ දෑස එහි කැටි වූ වේදනාව මා අභියස මේ ජූලි උදෑසන මැවී පෙනුනි.

දහසක් වේදනාකාරී සිදුවීම් තම දෑසින් දකිමින් ඔහු රාගම බටුවත්තේ තම නිවසට ලඟා වූයේ හැන්දෑ කළුවර කැටි කර ගෙනයි.

රාජ්ගේ පියාට අයත් නිවාස වහාම සිංහල අයෙකුට කුනු කොල්ලයට විකුනා දැමුනි. ඉන් අනතුරුව ඔයුන් එම නිවසේ කුලී නිවැසියන් බවට පත්විය. ඒ සිංහල දේපල ගිනිබත් නොවන නිසාවෙනි. කොපමනක් දමිළ මිනිසුන් සතු දේපල මෙසේ ,ආරක්ෂාව, පතා අඩු මුදගකට සිංහලීකරනය වීද? කොපමණ කඩ සාප්පු, ගෙවල්, ඉඩම් මෙසේ කුනු කොල්ලයට සිංහල සතු කරනය කරනු ලැබූවේද?

ඉතින් එයින් පසු වසර 26ක්ම රටේ මිනිස් සංහාරයන් සිදුවෙමින් යුද්ධයක් පැවතී මිනිස්ඝාතනයන් මැද අවසන් විය. උතුරුකරයේ ,ත්‍රස්තවාදය, පරදවා සිංහල රාජ්‍යය යුද්ධය ජය ගෙන ඇත. අධි ආරක්ෂක කලාප ලෙස, හමුදා ගම්මාන ලෙස, ඔප්පු තිරප්පු නැති දේපල ලෙස දමිළ ඉඩම් සිංහල සතු වී ඇත. තවදුරටත් උතුරේත්, නැගෙනහැරත්, වන්නියේත්, දේපල විවිධ කාරනාවන් නිසාවෙන් ඒවායේ මුල් හිමිකරුවන් වූ දමිළයන් අතින් ඉවතට ගනිමින් පවතී. තම පරම්පරාගත ගෙදර හමුදා නිලධාරියෙකු ඔහුගේ පවුල සමඟ සිටින දෙස ඒ අසල අතු පැලක තම දරු පව්ල සමඟ ජීවත් වන ගෙහිමියාගේ හීල්ලූම උතුරුකරයේ සිට දකුණට නොඇසෙන්නේ මනුෂ්‍යත්වයේ ආත්ම දකුණේ මිනිසුන්ට නැති හෙයින් නොව ඔවුන් ඒවා නොයෙක් බැමි තුළ හිරකරගෙන සිටින බැවිනි. ඒ නිසා සිංහල හඳවතට දමිළ සුසුමේ වේදනාව ලංනොවෙති. ,ත්‍රස්තවාදය,,රට දෙකඩකිරීම,,සිංහල බෞද්ධ, වැනි මෙම බැමි වලින් දකුණේ හදවත් හිරකරගෙන සිටින තාක්දුරට තම එහෝදර ජනයාගේ දුක් සුසුම් මේ සිංහල හඳවත් වෙත ලඟා නොවනු ඇත.

නාසි ජර්මනියේ වර්ගවාදී මිනිස් සංහාරය සහ දේපල කොල්ල කෑම ගැන මතකය අමතක නොකිරීමට ජර්මන් කලාකරුවෙකු මෙම ,පා පැකිලෙන ගල්,ක්‍රියාදාමය අරඹා ඇත. ඒ වගේම ඒ පිළිබඳ නොයෙක් නොයෙක් වැඩ පිළිවෙලවල් රාජ්‍ය සහ රාජ්‍ය නොව සංවිධාන මෙන්ම සිවිල් ජන පදනමින්ද සිදු වූ සහ සිදු වෙමින් පවතී. වර්ගවාදයේ ඇති නිසරු බව පුහුබව මතු පරම්පරාවට උගන්වමින් සිටී. එයින් සිදුවූ විනාසය පහදමින් පවතී. ඒ පිළිබඳ කලා නිර්මාණ දහස් ගනනින් බිහි වී ඇත. එවැනි විනාසයන් වලක්වා ගැනීමටත් එවැන්නක් නැවත ඇතිවීම මඟහරවා ගැනීමට කලාකරුවන් තම කලා නිමවුම් වලින්ද දේශපාලනය තම දේශපාලන වැඩ පිළිවෙල වලින්ද ඉදිරියට ගමන් කරමින් පවතී. ගුන්ටර් ඩේම්නිග් නම් කලා කරුවාගේ මේ මෙම ,පා පැකිලෙන ගල්,දිනපතා කී දහසකට මේලේච්ඡ අතීතයේ නිස්සාර බව මතක් කරනවා ඇත්ද?

කලූ ජූලියේ දේපල අහිමි වූ අය කී දහසක් ඇද්ද? එම දේමල හිමිකරුවන් ඔවුන් ජීවත්වූතැන් එදා මරා දැමු අය ගැන සංඛ්‍යාලේඛණයක් වේද? එසේ මරා දැමූ අයගේ ගිනි දැමූ ගෙවල් ආදිය ගැන සිහි කැදවීමක් ලංකා සමාජය තුළ සිදු වේද?

එපමණක් නොව අද වන විට වන්නියේ සහ උතුරුකරයේ කෝවිල් බිමට සමතලාකර එතැන බදු පිලිම පැලකිරීම සිදු නොවන්නේද? දමිළ ගමකට සිංහල නමක් යෙදීම, දමිළයා සතු= අයිතිය පැහැර ගෙන එය සිංහල කිරීම කොමපණ නම් උතුරුකරයෙන් වාර්තා වේද?මේ පිළිබඳ ,සිංහල, ඇසට නොපෙනෙන්නේ නොවේද? යුද්ධයෙන් පසුත් ලාංකිකයා ජීවත්වන්නේ යුද්ධයට පෙර ජර්මානුවන් සිටි තැනද? මේ ජූලි උදෑසන මගේ මනසට නැගු මතකයේ පැනයයි.

එදා රාජ්ගේ දෑසේ දැල් වූ වේදනාවේ සටහන අදත් මා හඳ සසල කරයි. එදා මෙදා ලක් පොලව මත රාජ්ලා කී දහසක් බිහිකර ඇත්ද ඒ වගේම එදා රාජ්ගේ දෑසේ සටහන් වූ වේදනාව මෙන් කී ගුණයක් වේදනාවන් මෙදා රාජ්ලාගේ දෑස්වල දැල්වෙන්නේද? මේ ඉතා සරල මනුෂ්‍ය ආත්ම වේදනාව වටහා ගැනීමට කිසිවෙකු බුදුධිමතෙකු විය යුතු නැති බව මාගේ හැගීමයි.

කලූ ජූලියේ මිනිස් ජීවිත සහ විනාස කළ දේපල ගැන මතකයන් අවදි කරවන සිහිවටනයක් දකුනේ සමාජය තුළ බිහි වන තුරු ලාංකික සමාජය සාමයෙන් පිරි එකක් බවට පත් නොවනු ඇති බව මාගේ හැගීමයි. ලාංකීය කලාකරුවාට තමන් ඉටු නොකල කාර්යයන් තව බොහෝ ඇත.

සිරකරුවන් මරා දැමීමේ සදාචාරය - රංජිත් ‍හේනායක ආරච්චි

Share

AddThis Social Bookmark Button