Lanka News Web

අද රට මහුණ දී ඇති තත්වයට එකම විසඳුම 17 වෙනි සංශෝදනය යළි ස්ථාපිත කිරීමයි - කරු ජයසුරිය

Share

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදනය 2012-07-20

ආණ්ඩුවේ ඇමැතිවරයෙකු විසින් මන්නාරම මහේස්ත්‍රාත්වරයාට අධිකරණ තීන්දුවක් වෙනස් කරන ලෙස කර ඇති තර්ජනය හා එකී මහේස්ත්‍රාත්වරයා මාරු කර හැරීමට අදාල ඇමැතිවරයා විසින් ගනු ලබන අසාර්ථක උත්සාහය මඟින් මෙරට දැනටමත් ක්‍රියාත්මක පාලනයේ ආදීනව සහ රට දිනෙන් දින අරාජිකත්වය කරා ගමන් කරමින් සිටින වග යළි පැහැදිලි වී තිබේ.

මන්ද, මන්නාරම මහේස්ත්‍රාත්වරයාට තීන්දු වෙනස් කරන්නැයි බලපැම් කරමින් නොනැවතී, හෙන්චයියන් ලවා අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට කලහකාරී තත්වයක් ඇති කර අධිකරණ සංකීර්ණයට පහර දීමට තරම් නීතිය අතට ගෙන ඇත්තේ නිකම් අයෙකු නොව මෙරට විධායකයේ නියෝජිතයෙකු බැවිනි.

එසේ නම් මෙය කර ඇත්තේ විධායකයේ බලතල අතට ගෙන එහි නියෝජිතයෙකු විසින් අධිකරණයේ ස්වාධීනත්වයට හා එහි ගරුත්වයට දැඩි පහරක් එල්ල කිරීමයි.

මෙකී තත්වය තුළ නිර්මාණය වන අරාජිකත්වය හමුවේ දැනටමත්, රටෙහි අපරාධ රැල්ලක් ද බිහි වී ඇති අතර, නීතිය ක්‍රියාත්මක කිරීමට වග කිවයුතු වන අංශ දේශපාලන බලපෑම් හමුවේ කිසිත් කර කියා ගත නොහැකි තැනට පත් වී තිබේ. කටුවන ජනතා විමුක්ති පෙරමුනේ රැලියට වෙඩි තබා මිනිස් ඝාතන දෙකක් සිදු කර, දේපළ අලාභහානි සිදු කිරීමට වග කිව යුතු බවට හඳුනා ගෙන ඇති ප්‍රධාන සැකකරුවා වන ජුලම්පිටියේ අමරේ නැමැත්තාට එරෙහිව ඊට පෙර වරෙන්තු දහයකට වඩා නිකුත් කර තිබිය දී ඔහු නීතිය හමුවට ගෙන ඒමට පොලිසීයට නොහැකිව තිබිණි. මේ ගැන තම පිළිකුල ගරු විනිශ්චයකාරවරයා විසින් ද පළ කර තිබිණි. එසේම ජුලම්පිටියේ අමරේ ස්වයංක්‍රීය ගිනි අවියක් ඇතැතිව නිදැල්ලේ සැරිසරන අයුරු දැක්වෙන ඡායරූප ද මාධ්‍ය මඟින් කර තිබිණි.

කටුවන සිද්ධියේ සිට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහර දීම දක්වා වූ සිද්ධි දාමය තුළ ප්‍රකට වනුයේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සිට ආණ්ඩුවේ ඇමැතිවරුන් දක්වාම, විධායකගේ බලය, දේශපාලන හයිය අතට ගැනීමේ ඛේදවාචකයයි.

ගෙවී ගිය සති කීපය තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ, ලමා අපචාර හා ස්ත්‍රී දූෂණ සියයක් නිම කිරීම වෙනුවෙන් පැවැත්වෙන ප්‍රීති උත්සව ගැන වාර්තා වන විට අප තුළ ඇති වන්නේ රටේ අනාගතය පිළිබඳ බලවත් කම්පාවකි.

එසේම විධායකයේ අසීමිත බලතල සීමා කර, රටේ යහපාලනයක් ඇති කිරීමට වූ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මරා දමා, වත්මන් රජය විසින් 2/3 කට ආසන්න බහුතරයකට මුවා වී ගෙන ආ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදු වී ඇත්තේ මෙම තත්වය තවත් උග්‍ර වීමට පසුබිම සකස් වීමයි.

මෙබඳු කුප්‍රකට සිද්ධීන් අතීතයේ දීත් සිදු වූ අතර, වර්තමානයේ දී සිදු වෙමින් පැවැතීම තුළ ප්‍රකට වනුයේ 35 වසරක කාලයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය මේ බිම මත ඇති කළා වූ විපාකයන් ය. අපි අතීතයේ වූ මෙබඳු සිද්ධීන් ද වර්තමානයේ සිදු වෙමින් පවතින්නා වූ දේ ද අනුමත නොකරන්නෙමු.

මෙහිදී රටේ බහුතර ජනතාව යකඩ දා අළු වී ගිය තැන පුළුන් සොයන්නේ කුමකට දැයි යන තත්වයට පත් වී තිබෙන අතර, දැන්වත් ගොඩනැ‍‍‍ගෙමින් තිබෙන අරාජික තත්වයෙන් රට මුදවා ගත යුතුව ඇත. මෙහි ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වැනි සංශෝධනය යළි ස්ථාපිත කිරීම අනිවාර්ය කොන්දේසියක් වන්නේ ය.

කරු ජයසූරිය

එක්සත් ජාතික පක්ෂ

ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී

Share

AddThis Social Bookmark Button