| Share |
ජනාධිපතිවරයාගේ නිවස පිහිටි ප්‍රදේශය හා මැතිවරණ කොට්ඨාශය ද වන තංගල්ලේ ක්‍රියාත්මක දරුණු පාතාල කල්ලි කිහිපයක් මර්ධනය කිරීමට දේශපාලන බලපෑම් මත පොලීසියට ඉඩ නොලැබ තිබිය දී අපරාධ මර්ධනය කිරීමට දේශපාලන බලපෑම් නොතකා ක්‍රියාකරන බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා මාධ්‍යයට ප්‍රකාශ කිරීම විහිළුවක් බව පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.
දකුණේ දරුණතම පාතාල කල්ලි 12 ක් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන අතර එයින් 5 ක් තංගල්ල ක්ෂේත්‍ර කොට ගෙන ක්‍රියාත්මක බව ද පොලිස් නිලධාරීහු පවසති.
‘ආමි අමිල’ නොහොත් අමිල නිශාන්ත, පාලන්කඩ හීන්මල්ලි, විතාරන්දෙනියේ උක්කුවා, සූරියවැව හරිස්චන්ද්‍ර, අඹ සුදා යන අපරාධකරුවන් මෙම පාතාල කල්ලි නායකයන් ලෙස හඳුනාගෙන ඇත.
මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් අසූවකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ ව ඉහත කල්ලි පහේ නම් සදහන් වේ. මේ සියළුම කල්ලිවල විශේෂත්වය වන්නේ ටී 56 ගිනි අවි අතැතිව අපරාධ සිදු කිරීම බව ද පොලිස් නිලධාරීහු සඳහන් කරති.
දා හතර හැවිරිදි දැරියක දූෂනය කිරීම සම්බන්ධව දැනට රිමාන්ඩ් බාරයේ පසුවන සන්ධානයේ නාගරික මන්ත්‍රී අංජන ලියනගේ අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලීසිය දිගින් දිගටම අසමත් වීම තංගල්ලේ අපරාධකරුවන්ට ඇති දේශපාලන බලය පෙන්වන එක නිදසුනක් බව පොලීසිය කියයි. (නාගරික මන්ත්‍රීවරයා පොලීසියට භාර වූයේ කොළඹ පොලිස් මූලස්ථානය විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව ය. )
“තංගල්ලේ ක්‍රියාත්මක අපරාධ කල්ලිවලින් තාවකාලිකව හෝ මර්ධනය කර ඇත්තේ නෙළුවේ ප්‍රියන්තගේ කල්ලිය පමණයි. නෙළුවේ ප්‍රියන්ත පොලිස් විශේෂ කාර්ය්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඝාතනය කලේ ද නෙළුවේ ප්‍රියන්ත නාමල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් මූර්ති කොඩිතුවක්කු ගේ නිවසට වෙඩි තැබීමෙන් පසුවයි. නෙළුවේ ප්‍රියන්ත කොඩිතුවක්කු ගේ නිවසට වෙඩි තැබුවේ මූර්ති කොඩිතුවක්කු ජුලම්පිටිය අමරේට විශේෂ සැලකිලි දැක්වීම නිසා ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙසයි. නීතිය ක්‍රියාත්මක වන ආකාරය එයින් ම පැහැදිලියි. ’’ යනුවෙන් නම සඳහන් නොකිරීමේ එකඟතාවය මත දකුණේ ඉහළ පෙලේ පොලිස් නිලධාරියෙකු අප වෙත පැවසීය.
පාලන්කඩ හීන්මල්ලී දැන් වම්බොට්ටාගේ කල්ලියේ ඉතිරිව සිටින නායකයායි. වම්බොට්ටා “චන්ඩි මල්ලී’’ ඝාතනයේ සැක කරුවකු වන “සූරියවැව රත්නවීර ’’ඝාතනය කළ තැනැත්තා ය. චන්ඩි මල්ලීගේ දේශපාලන ස්වාමියා කවු දැ යි දන්නා අයට පාලන්කඩ හීන්මල්ලී අත්අඩංගුවට පොලීසියට නොහැකි වන්නේ ඇයි දැ යි දන්නවා යනුවෙන් එම ඉහළ පොලිස් නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ ය.
රටේ අපරාධ මර්ධනය කිරීමට අවංක උත්සාහයක් ආරක්ෂක ලේකම්වරයා ගන්නේ නම් පලමුව තංගල්ලේ අපරාධ කල්ලි මර්ධනය කොට තමන්ගේ අවංක බව පෙන්විය යුතු යැ යි දකුණේ පොලිස් නිලධාරීහු පවසති.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












