| Share |
මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණයට ගල් ගසා මහේස්ත්‍රාත්වරයාට අසභ්‍ය වචනයෙන් බැණ තර්ජනය කිරීමේ මෙහෙයුම අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ඊයේ (18) මන්නාරම තල්අඩි හමුදා කඳවුරේ සිට පෞද්ගලිකව මෙහෙය වූවක් බව වාර්තා වේ.
වෙඩිතල්තිව් ධීවර ගම්මානයේ ද්‍රවිඩ ජාතික ධිවරයන්ගේ නිවාසවලට පහර දී හානි කිරීම සම්බන්ධව ඉකුත් 16 වන දා සැකපිට අත් අඩංගුවට ගත් බදූර්දීන් මහත ගේ ආධාරකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (17) ඉදිරිපත් කර තිබිණ. වෙඩිතල්තිව් ධීවර ගම්මානයේ කොටසක අයිතිය සම්බන්ධව මුස්ලිම් හා දෙමළ ධීවරයන් අතර ඇතිවූ ගැටුමක් නිවාසවලට පහර දීමට හේතු වී තිබිණ.
මෙම සිද්ධිය සම්බන්ධව මැදිහත්වීමට අවශ්‍ය බව කියමින් ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ නියෝගය පරිදි ලබා ගත් ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් බදුර්දීන් මහතා ඊයේ උදේ තල්අඩි හමුදා කඳවුර වෙත ලගා වූ බව ආරංචි මාර්ග කියයි. ඒ වන විට මුස්ලිම් ජාතික ධීවරයන් දහසක් පමණ මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිට ඇත. ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියට පැමිණීම වැලැක්වීම සඳහා මාර්ග බාධක යෙදීමට පොලීසිය ගත් උත්සාහය ද බදුර්දීන් මහතාගේ නියෝගය මත අත්හිටවා තිබී ඇත. උද්ඝෝෂකයන්ට අධිකරණය ඉදිරියට පැමිණ අරගල කිරීමට ඉඩ ලැබී ඇත්තේ ඉන් පසුව බව ද මන්නාරමේ ආරංචි මාර්ග කියයි.
අධිකරණයේ ඉදිරියට පැමිණි උද්ඝෝෂකයන් ගල් ගැසීමට ගත් උත්සාහය වැලැක්වීමට පොලීසිය උත්සාහ කොට නැත්තේ මන්නාරම් මූලස්ථාන පොලිස් පරීක්ෂක තුෂාර දළුවත්ත මහතාගේ උපදෙස් මත ය. මන්නාරම් මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා අමාත්‍ය බදුර්දීන් මහතාගේ ගෝලයින් හා එක්ව මහනුවර පළාතට මාලු පැටවීමේ ව්‍යාපාරයක නිරතවන නිසා බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
අධිකරණයට ගල්ගැසූ බදුර්දීන් ඇමැතිවරයා ගේ ආධාර කරුවන්ගෙන් සමහරෙකු පොලීසියට ද ගල් පහර එල්ල කිරීමේ දී එම ගල් පහරකින් මන්නාරම් පොලිස් පරීක්ෂක දළුවත්ත මහතා ද තුවාල ලැබීම නිසා පොලීසිය උද්ඝෝෂකයන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කොට විසිරුවා හරින ලද්දේ ඉන් පසුව බව ද ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි. මන්නාරම් ප්‍රදේශයේ පොලිස් සහ හමුදා නිලධාරීන් ධීවරයන් සමග එකතු වී මාලු බිස්නස් කිරීම සහ ආරක්ෂක කපොළු වලදී මාලු ලොරි වලින් කප්පම් ගැනීම ඉතා සුලබ ක්‍රියාවක් බව මේ පිළිබඳව අප වෙත කරුණු සැල කළ පුද්ගලයා අවසාන වශයෙන් සඳහන් කර සිටියේ ය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











