Lanka News Web

මරා දැමූ නාලන්ද එල්ලාවල නැවත වතාවක් අධිකරණයෙන් ඝාතනය වේ

Share

මීට වසර පහළවකට ඉහත එනම්, 1997 වසරේ පෙබරවාරි මස 11 වන දින රත්නපුර කුරුවිට ප‍්‍රදේශයේදී ඝාතනයට ලක් වුණු රත්නපුර දිස්ති‍්‍රක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලන්ද එල්ලාවල මහතා නැවත වතාවක් අධිකරණය තුළ ඝාතනය වීමේ අවදානමක් පවතින බව රත්නපුර දිස්ති‍්‍රක්කයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයින් පෙන්වා දෙනු ලබති.

වසර 15 කට පසු රත්නපුර මහාධිකරණයේදී නාලන්ද එල්ලාවල ඝාතන නඩුව ජූලි 05 වන දින කැඳවා ඇත්තේ වසර 04 කුත් මාස 07 කට පසුවය. මෙම නඩුවේ අධිචෝදනා පත‍්‍ර චූදිතයින් හට භාර දී තිබෙන්නේ 2007 වසරේ දෙසැම්බර් මසදීය. නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ ප‍්‍රධාන විත්තිකරු වන සුසන්ත පුංචිනිලමේ අද සන්ධාන රජයේ ප‍්‍රබල අමාත්‍ය ධූරයක් හොබවන්නෙකි. මොහු මෙසේ එක්සත් ජාතික පක්‍ෂයේ සිට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට පිල් මාරු කරන ලද්දේ තමාට එරෙහිව තිබූ මිනීමැරුම් නඩුවලින් ගැලවීම සඳහා යන්න ප‍්‍රකට කරුණකි.

1988 වසරේ ඔහු සහ ඔහුගේ මැරයන් විසින් ඔලූවට පොල් පරාල ඇන ගසා ඝාතනය කරන ලද කොළඹ වෛද්‍ය පීඨයේ අවසාන වසරේ ශිෂ්‍ය පද්මසිරි ති‍්‍රමාවිතාන ඝාතන නඩුවේ සාක්‍ෂිවල දුර්වලතාවය හා පරස්පරතාවය නිසා සුසන්ත පුංචිනිලමේ නිදහස ලබන ලදී.

නාලන්ද එල්ලාවල නඩුවේ දෙවන විත්තිකරු වන රත්නපුර හිටපු නගරාධිපති මහින්ද රත්නතිලක මියගොස් ඇති බවට ජූලි මස 05 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී මරණ සහතිකයක් ගොනු කර ඇත. මෙම නඩුවේ විශේෂත්වය වන්නේ මහාධිකරණය විසින් සිතාසි යවා සාක්‍ෂිදීමට කැඳ වූ කිසිම සාක්‍ෂිකරුවෙක් අදාළ දිනයේ අධිකරණයට නොපැමිණීමයි.

2000 වසරේ රත්නපුර අධිකරණය ගිනි තැබූ අවස්ථාවේදී නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ බොහෝ සාක්‍ෂි විනාශව ගොස් ඇති අතර, මෙම ගිනි තැබීම පිළිබඳව චෝදනා එල්ල වූ පාතාල නායකයෙකු වන ‘අම්බිගා’ නමැත්තා ඊට පසු කාලයකදී අබිරහස් ලෙස ඝතනයට ලක් වන ලදී. තවත් සමහර සාක්‍ෂිකරුවන් කිසියම් පෙළඹවීමක් මත රට හැර ගොස් තිබේ.

නඩුවේ සියලූම සාක්‍ෂිකරුවන්ට නැවතත් සිතාසි නිකුත් කර ඇති රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා, ලබන අගෝස්තු මස 29 වනදා නැවතත් නඩුව කැඳවීමට නියම කර ඇති අතර, එදිනට සාක්‍ෂිකරුවන් නොපැමිණෙන්නේ නම් එම හේතුව මත නඩුව දීර්ඝ කාලයකට බහා තැබීමට හෝ විත්තිකරුවන් නිදහස් කිරීමට නියමිතව ඇති බව මේ පිළිබඳව අප වෙත කරුණු දැක්වූ රත්නපුර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය. මෙම නඩුව සම්බන්ධයෙන් වර්තමාන රජයේ ප‍්‍රධාන අමාත්‍යධූර දරන නාලන්ද එල්ලාවල මන්තී‍්‍රවරයාගේ හොඳම මිතුරන් දෙදෙනා වන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අමාත්‍ය ඩිලාන් පෙරේරා මුනිවත රැකීම පිළිබඳව රත්නපුර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයන්ගේ දැඩි සංවේගයට හේතු වී තිබේ.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ සියලූම මාධ්‍ය නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමට විශාල බියක් දක්වන්නේ රාජඋදහසට ලක්වනු ඇතැයි යන බිය නිසාය. පසුගිය ජූලි මස 05 වනදා මෙම නඩුව කැඳ වූ බවවත් ශී‍්‍ර ලංකාවේ කිසිම මාධ්‍යයක වාර්තා වී නොතිබුණි. මේ පිළිබඳව නිසි ප‍්‍රචාරයක් ලබාදෙන ලෙස ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය වෙතින් එල්ලාවල පවුලේ උදවිය ඉල්ලා සිටියද ඊට කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැත.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ රත්නපුර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයින් අවසාන වශයෙන් සඳහන් කර සිටියේ, තමන්ගේම රජයක් යටතේ තමන් සහ එල්ලාවල පවුලේ උදවිය මේ ආකාරයට අසරණ වන්නේ නම් ඒ ගැන දුක්වනවා හැර වෙන කිසිවක් කිරීමට තමන් අපොහොසත් බවය.

Share

AddThis Social Bookmark Button