Lanka News Web

බදු අඩු කිරීමෙන් කර්මාන්තයට පාඩුවක් නෑ - ධීවර ඇමති

Share

ශ්‍රී ලංකාවට පිටරටින් ගෙන්වන මත්ස්‍ය නිෂ්පාදන සඳහා බදු අඩු කිරීමෙන් ධීවර කර්මාන්තයට කිසිදු පාඩුවක් සිදු නොවෙතැයි ධීවර අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ආනයනිත මාලු සහ කරවල සඳහා රුපියල් විසි පහකින්ද, හාල්මැස්සන් සඳහා රුපියල් විස්සකින්ද ටින් මාලු සඳහා රුපියල් තිස් පහකින්ද බදු කපා හරින ලද බව රජය නිවේදනය කළේය.

ජනාධිපතිවරයාද සහභාගි වන ජීවන වියදම් පිලිබඳ මාසික කමිටුවේදී තමන් ගේද එකඟතාවයෙන් මෙම තීරණයට එළැඹි බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

මෝසම් සමයේදී ධීවර යාත්‍රා දියඹට යන්නේ සීමිතව බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස මාළු මිල ඉහල යාම වලක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා පවසයි.

"අනිත් එක ඒකෙ තව වාසියක් තියෙනවා අපි සැමන් කර්මාන්තයට ගේන මාලුවලටත් එතකොට බද්ද අඩුවෙනවා," ඔහු පැවසීය.

චීන ට්‍රෝලර් යාත්‍රා

ඉන්දියාව, තායිලන්තය, චීනය, සයිප්‍රසය සහ මැද පෙරදිග යන රටවලින් ටින් මාළු, කරවල සහ හාල්මැස්සන් මෙසේ ශ්‍රී ලංකාවට ආනයනය කරන බවයි, අමාත්‍ය සේනාරත්න සඳහන් කරන්නේ.

එහෙත් සමස්ත ධීවර කර්මාන්තය පිළිබඳවම අමාත්‍යවරයාට තිබෙන මඳ අවබෝධය මේ ප්‍රකාශ වලින්ද ගම්‍ය වන බවයි, ධීවර සංගම් නායකයන් පවසන්නේ.

විශේෂයෙන්ම දේශීය මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇත්තේ ඇමතිවරයා පවසන පරිදි මෝසම් වැසි නිසා නොව තෙල් මිල ඉහල යාම නිසා බව පෙන්වා දෙන සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත චීන ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපයට ඇතුළු නොවන බවට ඇමතිවරයා කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි.

ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහල ගොස් තිබියදීත් එහි වාසිය ශ්‍රී ලංකාවේ ධීවරයන්ට ලැබී නැති බව පවසන ඔහු, ආණ්ඩුව තෙල් මිල ඉහල නොදැමුවේ නම් වැඩිම මාළු තොග ගොඩ ගෙන එනු ලබන්නේ මේ සමයේ බවද සඳහන් කරයි.

"මේ ආණ්ඩුව තෙල් මිල ඉහල දැමීම නිසා අද සියයට පණහක් ධීවරයෝ මුහුදු යන්නේ නෑ," බව අරුණ රොෂාන්ත බීබීසී සංදේශයට පැවසීය.

- බීබීසී සංදේශය

Share

AddThis Social Bookmark Button