Lanka News Web

බර්ටි ප්‍රේමලාල් ට පුතාගෙන් අපලයි

Share

උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ඊලඟ වාරයේ මහ ඇමැතිධූරය ලබා නොදීමේ කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය වෙමින් පවතී.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාට තමන් විසින් යොමු කරන ලද පනතක් උතුරු මැද පළාත් සභාවේ සම්මත කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් බැණ වැදුණු බවටත් බර්ටි ප්‍රේමලාල් මහතාගේ ක්‍රියා කලාපය ජනාධිපතිවරයාගේ නොසතුටට හේතු වී ඇති බවත් පැවසෙන පුවත් පසුගිය ඉරිදා පුවත්පත්වල දේශපාලන ඕපාදූප තීරුවල පලවී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අප්‍රසාදයට ලක්වන ආකාරය එම තොරතුරු පුවත්පත් වලට ලබා දී තිබුනේ ද ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් බවට පුවත්පත් ආරංචි මාර්ග සඳහන් කරයි.

රුපියල් දශ ලක්ෂයක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් වසරක් තිස්සේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිටින නන්දන ලොකුභරණ නම් නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ද ඉකුත් සතියේදී පොලීසිය විසින් හදිසියේ අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලද්දේ ද මෙහි තවත් එක් පියවරක් වශයෙනි.

නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය පොලීසියෙන් ප්‍රශ්න කර තිබුනේ පසුගිය වසරක කාලයක් තිස්සේ සැකකරු අත්අඩංගුවට නොගත්තේ මන්ද යන්නයි.

කෙසේ වෙතත් ප්‍රධාන අමාත්‍යවරයා කපා දැමීමට සැබෑ හේතුව වී ඇත්තේ අග්‍රාමාත්‍ය දිමූ ජයරත්න මහතාගේ බෑනා ද වන දුමින්ද දිසානායක මහතා අනාගතයේ නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතයට තර්ජනයක් විය හැකි ය යන උපකල්පනය නිසා බව දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

Share

AddThis Social Bookmark Button