Lanka News Web

ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට විරෝධය පෑ අනූවක් අත් අඩංගුවේ

Share

තමිල්නාඩුවේ වෙලින්ග්ටන් හි පිහිටි ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානයට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ට හමුදා නිළධාරීන් දෙදෙනකු පැමිණීමට විරෝධය පාමින් උද්ඝෝෂණයේ යෙදුන අනූ දෙනකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා හමුදාවේ මේජර් ජනරාල් ජගත් ඩයස් සහ නාවුක හමුදාවේ රෙයාර් අද්මිරාල් එස්. රණසිංහ නිල්ග්රිස් දිස්ත්‍රික්කයේ කුන්නූර් නගරයේ පිහිටි ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානයට පැමිණීමට එරෙහිව පැවති විරෝධතා ව්‍යාපාරයට ප්‍රධාන දේශපාලන පක්ෂවල සහ දෙමළ සංවිධානවල නියෝජිතයෝ එක්වී සිටියහ.

දිල්ලි අගනුවර පිහිටි ජාතික ආරක්ෂක ඇකඩමියේ පුහුණුව ලබමින් සිටින ශ්‍රී ලාංකික නිළධාරීන් දෙදෙනා එම පුහුණු වැඩසටහනේ කොටසක් ලෙසින් තමිල්නාඩුවට පැමිණ සිටියහ.

ආරක්ෂක පුහුණු පාසල අවට ආරක්ෂාව තර කොට තිබුණු අතර, පන්සියයකට අධික පොලිස් හමුදාවක් කුන්නූර් නගරයේ රඳවා සිටි බවයි වාර්තාකරුවන් පවසන්නේ.

'යලි ශ්‍රී ලංකාවට යවන්න'

මෙම උද්ඝෝෂණය හේතුවෙන් හෝටලයක ලැගුම් ගෙන සිටි ශ්‍රී ලංකා හමුදා නිළධාරීන් දෙදෙනා පුහුණු පාසලේ අමුත්තන්ගේ නිවාසයට මාරුකොට තිබේ.

ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ පුහුණුව ලබාදීමට විරෝධය පාමින් මේ අතර ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිං ට ලිපියක් යවන තමිල්නාඩුවේ මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා, ඉන්දීය භූමියේ කිසිදු ස්ථානයක ශ්‍රී ලංකා හමුදා බලධාරීන්ට පුහුණුව ලබාදීමෙන් වලකින මෙන් ඉල්ලීමක් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන යුද අපරාධවලට වැරදිකරුවන් යුද අපරාධකරුවන් ලෙස නම් කරන්නැයි එක්සත් ජාතීන්ට බළ කරන මෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලමින් පසුගිය වසරේ ජුනි මාසයේදී තමිල්නාඩු ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් පිළිබඳව අගමැතිවරයාට සිහි කැඳවන මහ ඇමතිවරිය, දැනට ඉන්දියාවේ පුහුණුව ලබන සියලුම ශ්‍රී ලංකා හමුදා නිළධාරීන් වහාම යලි ශ්‍රී ලංකාවට පිටත්කොට යවන මෙන් ද ඉල්ලීමක් කරයි.

මෙසේ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට නිරන්තරයෙන් හමුදා පුහුණුව ලබාදෙමින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව කෙරෙහි ඉන්දීය ආණ්ඩුව දක්වන "දයා විරහිත" ආකල්පය පිළිබඳව තමිල්නාඩුවේ ජනතාව දැඩි කෝපයට පත්වී සිටින බවයි, මහ ඇමතිවරිය පවසන්නේ.

මේ අතර, ලබන මාසයේ පැවැත්වීමට නියමිත දෙමළ ඊළාම් සහයෝගිතා සංවිධානයේ සමුළුවේදී දෙමළ ඊලාමය පිළිගැනීමේ යෝජනාවක් සම්මත කර ගැනීමේ අදහසක් නැති බව තමිල්නාඩුවේ විපක්ෂ නායක එම්. කරුණානිධි සඳහන් කරයි.

හිටපු මහ ඇමතිවරයා එම අදහස් පළකළේ අදාළ යෝජනාව සම්මත කර නොගන්නා මෙන් මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය පී. චිදම්බරම් විශේෂ ඉල්ලීමක් කිරීමෙන් දිනකට පසුවයි.

- බීබීසී සංදේශය

Share

AddThis Social Bookmark Button