Lanka News Web

ටෝගෝවලට ශ‍්‍රී ලාංකිකයින් යවා ඇත්තේ කරුණා අම්මාන්

Share

ශ‍්‍රී ලාංකීය දෙමළ තරුණ තරුණියන් පිරිසකගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල ලබාගෙන බටහිර අප‍්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයට හා මාලි රාජ්‍යයට නීති විරෝධී ලෙස යවා ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් මහතාගේ අනුග‍්‍රහය යටතේ බව කොළඹ වංචා විමර්ශන අංශය විසින් මේවනවිට තහවුරු කරගෙන තිබේ. කරුණා අම්මාන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී (PSO) වසන්තම් මහතාගේ බිරිඳවන ගීතා නැමැත්තිය හරහා මෙම ජාවාරම සිදු කර ඇත.

මෙම ජාවාරමේ මහ මොළකරුවා ලෙස සැලකෙන අරුණගිරිනාදම් නොහොත් රූබන් නැමැත්තාව පසුගිය 18වනදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩි දුර පරීක්ෂණ සඳහා කොළඹ වංචා විමර්ශන අංශය වෙත භාර දීමෙන් පසු  එම තොරතුරු හෙළිදරව් වී ඇත. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන රදවාගෙන ඇත්තේ, එල්ටීටීඊ සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීමට සාමාජිකයින් සංවිධාන ගත කිරීමේ චෝදනාව මතය.

2012.02.18 වන දින පැය 11.15ට අංක 18/3, දුම්රිය පටුමග, වැල්ලවත්ත සූර්යන් ලැඟුම්හල ඉදිරිපිට මාර්ගයේදී මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.

වවුනියාව හා මඩකලපුව ප‍්‍රදේශවල දෙමළ ජාතික තරුණ තරුණියන් 269 දෙනකු නීති විරෝධී ලෙස වැල්ලවත්ත ප‍්‍රදේශයට කැඳවා සංවිධාන ගතකොට, රජයේ හමුදා මගින් අමානුෂික වදහිංසා පමුණුවනබවට හා නීති විරෝධී රදවාගැනීම් සිදුකරන බවට පවසමින් එසේ හඟවා, බටහිර අප‍්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයට හා මාලි රාජ්‍යයට නීතිවිරෝධී ලෙස විදේශගත කොට, අනතුරුව එසේ පිටව ගිය සංක‍්‍රමණිකයින් කිසිදු පහසුකමක් නොමැතිව එරට ‘ලෝම්’ නැමැති විවෘත ක‍්‍රීඩාංගණයේ රඳවා තැබීමේ හා සැකකරු නැවියෙකුව සිටින බව හැඟවීම සඳහා ව්‍යාජලෙස සකස්කරන ලද මුදාහැරීමේ ලේඛනයක් (CDC) සන්තකයේ තබා ගැනීමේ චෝදනා මෙම සැකකරුවෙත එල්ල වී ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

මෙම සැකකරු 45/89 සී, පිල්ලෙයාර් කෝවිල් අඩිපාරේ, කුරුමන්කාඩු, වවුනියාව ලිපිනයේ පදිංචි කරුවෙකි. 1984.08.09 දින පරන්තන් පාර, මුරිමුටේ ලිපිනයේ උපත ලබා ඇති මෙම සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය 842221234V වේ.

සැකකරුගේ පියා සභාපති අරුණගිරිනාදන්වන අතර ඔහු විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරියෙකවේ. මවගේ නම අරුණගිරිනාදන් මහේෂ්වරී වේ.

සැකරුගේ පවුලේ වැඩිමලා අරුණගිරිනාදන් ජෙයබරන් වන අතර ඔහු එල්ටීටීඊ සංවිධානයේ ප‍්‍රභල සාමාජිකයෙකුව සිටි ඇත. එවකට එම ප‍්‍රදේශයේ රජයේ හමුදාවන් අතර පැවැති යුදමය වාතාවරණයේදී රජයේ ආරක්ෂක හමුදාවන් විසින් දියත් කළ ජයසිකුරු මෙහෙයුමේ ඉදිරි පෙළ ආරක්ෂක වළල්ලේ පැවති මුහුනට මුහුන ලා සටන් වලදී වෙඩි වැදීමෙන් ඔහු මියගොස් ඇති බවට සැකකරුගේ ප‍්‍රකාශ මගින් අනාවරණය වී ඇත.

සැකකරුගේ පවුලේ දෙවැන්නා ඒ. ජෙයනිමලන් වන අතර ඔහු පරෙයිතුර හි පදිංචිකරුවෙකු වන අතර දැනට මුරිසමුටේ මුරුගානන්ද විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් කටයුතු කරනු ලබයි. පවුලේ තෙවැන්නා දැනට ප‍්‍රංශ රටට විදේශගතව සිටින ඒ. ජෙයසීදරන් වන අතර ඔහු ශ‍්‍රී ලංකා රජයේ හා එවකට පැවැති එල්ටීටීඊ සංවිධානය අතර සාම වකවානුව පැවති සමයේ විදේශගතව ඇති බවට කරුණු අනාවරණය වී ඇත. පවුලේ සිව්වැන්නා ඒ. ජෙයප‍්‍රකාශ් දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර ජෙයරූබන් යන අයගේ මාර්ගයෙන් දැනට දින කිහිපයකට ඉහතදී ඉතාලි රටට විදේශ ගතව ඇති බවත් පවුලේ බාලයා සැකකරු බවත් මේවනවිට කරුණු අනාවරණය කර ගැනීමට කොළඹ වංචා විමර්ශන අංශය සමත් වී තිබේ.

සැකකරු යාපනය තම්බසෙට්ටි හි ඇමරිකන් විෂන් විදුහලේ පළමු වසර සිට හය වසර දක්වා අධ්‍යාපනය හදාරා පසුව එල්ටීටීඊ පාලනය නතුව පැවති පරන්තන් වට්ටිකච්චි ප‍්‍රදේශයේ රාමනාදන් විදුහලින්ද පසුව ධර්මපුරන් විදුහලින්ද අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත.

මෙම සැකකරු මීට පෙරද දෙමළ තරුණ තරුණියන් සරණාගතයින් ලෙසද විදෙස් රටවලට යවා ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම මොහුට අනුග‍්‍රහය දක්වා ඇත්තේ කරුණා අම්මාන් නියෝජ්‍ය අමාත්‍යවරයාය. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාත් ඔහුගේ බිරිඳත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අප වෙත තොරතුරු ලබාදුන් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 පෙබරවාරි 20 වෙනි සදුදා, 17:05