Lanka News Web

ජනාධිපති ආර්යාවටත් ‘හූ’ කියලා

Share

පසුගිය 18වනදා කොළඹ පැවති ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම්ගේ ‘සොනු නිගම් ලයිව් ඉන් කොන්සෙට්’ හි දී දහස් ගණනක් සංගීත ලෝලීන් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියටද නොකඩවා ‘හූ’ කියමින් විරෝධය පළ කර තිබේ.

එම ප‍්‍රසංගයේදී විමල් වීරවංශ අමාත්‍යවරයාට ‘හූ’ කියූ බවට වූ ප‍්‍රවෘත්තිය එදින රාත‍්‍රියෙම අපගේ වෙබ් අඩවියේ පළ විය. ප‍්‍රසංගය පැවැති මොහොතේ එහි සිටි සංගීතලෝලියකු විමල්ට එරෙහි ‘හූ’ හඬ පැතිරෙමින් තිබියදී අප වෙත දුන් දුරකතන ඇමතුමක් ලද වහාම එම ප‍්‍රවෘත්තිය පළකළ නමුත් ආර්යාවට ද ‘හූ’ කියා ඇති බව අප එම මොහොතේ නොදැන සිටියෙමු.

කෙසේ වුවද,  රුපියල් 25,000 සිට රුපියල් 5,000  දක්වා වූ  ටිකට්පත් රැගෙන එම සංගීත ප‍්‍රසංගයට සහභාගිවූ සංගීත ලෝලීන් උත්සවය ආරම්භවී ජනාධිපති ආර්යාවගේ නම සඳහන් කිරීමත් සමඟම, එක දිගට විනාඩි 20කට වඩා ‘හූ’ කියමින් තම විරෝධය පළ කර තිබේ. ලූන්ජියකින් සැරසී සංගීත ප‍්‍රසංගයට සහභාගි වී සිටි ආර්යාව සමඟ ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ පෙම්වතියද සිට ඇත. ‘හූ’ හඬ පැතිර යද්දී ආර්යාව ලැජ්ජාවෙන් මුහුණ සඟවා ගැනීමට උත්සාහ දරා ඇති අතර ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ඒ දෙසට කැමරා යොමුවීම වළක්වා ගැනීමට බලවත් උත්සාහයක් දරා ඇත.

විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහි ‘හූ’ව ඇරඹී ඇත්තේ ඉන් අනතුරුවය.

ආණ්ඩුවේ ජනාධිපති ආර්යාවට සහ විමල් වීරවංශ අමාත්‍යවරයාට එල්ල වූ විරෝධයෙන් කළබලයට පත්  උත්සව සංවිධායිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මිය දේශපාලඥයින්ගේ නම් සඳහන් නොකරන ලෙස වැඩසටහන මෙහෙය වූ නිවේදකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති ආර්යාව හෝ ජනාධිපතිවරයාගේ පුත‍්‍රයින් උත්සව හා ප‍්‍රසංගවලට සහභාගි වීමේදී මීට ඉහතදී විශාල ජනතා පිළිගැනීමක් ලැබී තිබුණද එදින සංගීත ප‍්‍රසංගයේදී ඔවුන් හුදෙකලාව සිටි බව වාර්තාවේ.

මෙම උත්සවය සංවිධානය කළ සුධර්මා නෙත්තිකුමාර මහත්මිය සමඟ S කණ්ඩායමේ සිටි ජනප‍්‍රිය නිළි සංගීතා වීරරත්න මහත්මිය ප‍්‍රසංගය අවසානයේදී ඉදිරියට පැමිණ සුධර්මා මහත්මියට සුභ පතා ඇතත් ආර්යාව දෙසවත් නොබැලූ බව ද අප වෙත වාර්තාවේ. ප‍්‍රසංගය අවසන් වූ වහාම ජනාධිපති ආරක්ෂක අංශයේ විශේෂ කණ්ඩායමක් පැමිණ ආර්යාව සහ යෝෂිත රාජපක්ෂත් ඇයගේ පෙම්වතියත් ආරක්ෂා සහිතව රැගෙන ගොස් තිබේ.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 පෙබරවාරි 20 වෙනි සදුදා, 17:18